ලෝක ළමා දිනයට පුංචි පොඩ්ඩන්ට ලැබුණු සුපිරිම තෑග්ග.. ඔක්තෝම්බර් 1 වෙනිදා සත්වෝද්‍යානවල දොරටු නොමිලේ විවෘත වෙයි..
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයිනේ සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන පුංචි පැටවුන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඉතාමත් වටිනා තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන 2026 ඔක්තෝම්බර් මස 1 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ස්ථානයන්හි දොරටු වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා නොමිලේම විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙදින සත්වෝද්‍යාන පරිශ්‍රයන් වෙත පැමිණෙන පුංචි දරුවන් වෙනුවෙන්ම වෙනදාට වඩා වෙනස් වූ විශේෂාංග රැසක්, අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම විස්මිත අත්දැකීම් රැසක්ද සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඒ නිසා එළඹෙන ඔක්තෝම්බර් 1 වැනිදාට ඔබේ පුංචි පැටවුන්ටත් සතුන් නරඹමින් නිදහසේ විනෝද වීමට මෙම අනගි අවස්ථාව හිමිවෙනවා.