ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් විශ්‍රාම යාමට ආසන්නයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
ගෝලීය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉදිරියේදී දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට නියමිත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනතුරු අඟවා තිබෙනවා.
ලොව පුරා වෛද්‍යවරුන්ගෙන් 25% ක් එනම් හතරෙන් එක් කෙනෙකුම (4 දෙනෙකුගෙන් 1 දෙනෙකු) වයස අවුරුදු 55 ට වැඩි අය වන අතර, ඔවුන් ඉදිරි දශකය තුළ සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බව ලොව පුරා රටවල් 122 ක දත්ත පදනම් කරගනිමින් සකස් කළ මෙම වාර්තාවට අනුව හෙළි වී තිබෙනවා.
මෙම අර්බුදය වඩාත්ම දැඩි ලෙස බලපා ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවලට වන අතර, එම රටවල වෛද්‍යවරුන්ගෙන් තුනෙන් එකක්ම ඉදිරි වසර දහය තුළ විශ්‍රාම යනු ඇතැයි අපේක්ෂා කරනවා.
එක් පැත්තකින් ලෝක ජනගහනය වේගයෙන් වයස්ගත වීම නිසා සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යන අතර, අනික් පැත්තෙන් පළපුරුදු වෛද්‍යවරුන් විශ්‍රාම යාම නිසා සෞඛ්‍ය පද්ධති මත දැඩි ද්විත්ව පීඩනයක් එල්ල වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනයන්ට අනුව 2030 වන විට ගෝලීය සෞඛ්‍ය සේවක හිඟය මිලියන 11.1 ක් දක්වා ඉහළ යා හැකි අතර, රටවල් 67කට වැඩි සංඛ්‍යාවකට සිය ජනතාවගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා පවා සපුරාලීමට නොහැකි වීමේ බරපතල අවදානමක් පවතිනවා.
මෙම තත්ත්වය හමුවේ ධනවත් රටවල් විසින් දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් සෞඛ්‍ය සේවකයන් තමන්ගේ රටවලට ලබා ගැනීමට පෙළඹීම නිසා, දුප්පත් රටවල සෞඛ්‍ය පද්ධති තවදුරටත් කඩාවැටීමේ අවදානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කළා.