'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් මාබල් (Marvel) චිත්‍රපට මාලාවේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත "Avengers: Doomsday" දැවැන්ත සිනමා පටයට පෙර, රසිකයින් අතිශයින්ම උද්දාමයට පත් කරවන පුවතක් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයෙන් වාර්තා වනවා.
ඒ අනුව 2019 වසරේ තිරගත වූ අතිදැවැන්ත "Avengers: Endgame" චිත්‍රපටය, මිනිත්තු 4ක අලුත්ම දර්ශන 4ක්ද ඇතුළත් කරමින් "Avengers: Endgame Encore" නමින් නැවත වතාවක් සිනමාහල් වෙත නිකුත් කිරීමට මාබල් සමාගම කටයුතු කර තිබෙනවා.
"Doomsday" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී කැමරාගත කරන ලද මෙම අලුත්ම දර්ශන මඟින් රොබට් ඩව්නි ජූනියර්ගේ (Robert Downey Jr.) 'Doctor Doom', ටොම් හිඩ්ල්ස්ටන්ගේ (Tom Hiddleston) 'Loki' සහ මාක් රෆලෝගේ (Mark Ruffalo) 'Bruce Banner / Hulk' යන චරිත නැවතත් ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එනු ලබනවා.
මෙහි ඇතුළත් පළමු නව දර්ශනයෙන් ස්ටීව් රොජර්ස් සහ පෙගී කාටර්ගේ ආදරණීය නැටුම අතරතුරදී TVA නිල ඇඳුමෙන් සැරසුණු ලොකී පැමිණෙන ආකාරය දැකගත හැකියි.
දෙවන දර්ශනයෙන් TVA ආයතනය තුළ සිටින මොබියස් ඇතුළු පිරිස මල්ටිවර්ස් එකේ ලෝක දෙකක් එකිනෙක ගැටෙමින් මුළු මල්ටිවර්ස් එකම විනාශ වීමට යන ආකාරය නිරීක්ෂණය කරන අන්දම පෙන්වා දෙනවා.
තෙවනුව, 'Spider-Man: Brand New Day' සිදුවීමෙන් පසු භූගත බංකරයක සැඟවී සිටින බෲස් බැනර් වෙත කඩා වදින ඩොක්ටර් ඩූම්, හල්ක්ව එකතු කරගැනීමට උත්සාහ කරන අයුරු දැක්වෙන අතර, අවසන් දර්ශනය ලෙස ඩොක්ටර් ඩූම් සිය යකඩ මුහුණුවර සකස් කරන දර්ශනයක් ඇතුළත් කර තිබෙනවා.
එළඹෙන දෙසැම්බර් 18 වැනිදා තිරගත වීමට නියමිත "Avengers: Doomsday" චිත්‍රපටයට පාර කපමින් මාබල් සමාගම සිදුකළ මෙම අලුත්ම එකතු කිරීම මේ වන විටත් සිනමා ලෝලීන් අතර දැවැන්ත කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.
මූලාශ්‍රය: Variety