එංගලන්ත සෞඛ්ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
සංක්රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල කාන්තා සහ පිරිමි වාට්ටු භාවිත කිරීමේදී ඔවුන්ගේ ලිංගික අනන්යතාව වෙනුවට ජීව විද්යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතු බව එංගලන්තයේ ජාතික සෞඛ්ය සේවය (NHS England) නව මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, සංක්රාන්ති ලිංගික රෝගීන් ඔවුන්ගේ ජීව විද්යාත්මක ලිංගිකත්වයට අදාළ තනි ලිංගික වාට්ටුවල හෝ වාට්ටු කොටස්වල රැකවරණය ලැබිය යුතු බව අදාළ මාර්ගෝපදේශවල දැක්වෙනවා.
කෙසේ වෙතත්, එය වෛද්යමය වශයෙන් සුදුසු නොවන විශේෂ අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදිය යුතු අතර, ඒ හරහා සියලුම රෝගීන්ගේ ගෞරවය සහ ආරක්ෂාව අඛණ්ඩව තහවුරු කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම, රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති පහසුකම් භාවිත කිරීමේදී ද ජීව විද්යාත්මක ලිංගිකත්වය දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙන අතර, ඒ සමඟම කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන පරිදි තනි පුද්ගලයෙකුට පමණක් භාවිත කළ හැකි වැසිකිළි වැනි විකල්ප පහසුකම් ප්රමාණවත් ලෙස සැපයීමට ද රෝහල් බලධාරීන් වගබලා ගත යුතුය.
මීට පෙර ක්රියාත්මක වූ මාර්ගෝපදේශ යටතේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ස්වයං-ප්රකාශිත ලිංගික අනන්යතාවට ගැළපෙන වාට්ටු සහ පහසුකම් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.
එහෙත්, 2025 අප්රේල් මාසයේදී එක්සත් රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවකින් පසු එම පැරණි මාර්ගෝපදේශ ඉවත් කර ඇති අතර, එහිදී සමානාත්මතා නීතිය යටතේ ‘ලිංගිකත්වය’ යන්න දැඩි ලෙස ජීව විද්යාත්මක ලිංගිකත්වය ලෙස අර්ථ දැක්විය යුතු බව අවධාරණය කෙරුණා.
කෙසේ වෙතත්, සංක්රාන්ති ලිංගික පුද්ගලයන්ට කිසිදු ආකාරයක අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු නොවන බව තහවුරු කිරීම සඳහා ස්ත්රී පුරුෂ භේදයකින් තොරව පොදුවේ භාවිත කළ හැකි විකල්ප පහසුකම් ද ලබාදිය යුතු බව NHS England ආයතනය මෙහිදී විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා.
මූලාශ්රය - BBC