'කාවන්තිස්ස' මහ ඇතු සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි.. වෙඩි තුවාලයෙන් පසු මතුවූ බරපතළ තත්ත්වය..
මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස මහ ඇතු අද (16) උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබෙනවා.
ගල්ගමුව ප්රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර තිබුණා.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්ය කණ්ඩායම් පවසනවා.
මේ අතර, ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව ඇතුළු ප්රදේශවල සැරිසරන කාවන්තිස්ස ඇතා පිළිබඳව සියලුම වනජීවී කාර්යාල ඉහළ අවධානයකින් පසුවන ලෙස පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට පෙරේදා උපදෙස් ලබා දී තිබුණා.
ඇතාගේ සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්යවරයා ඊයේ (15) විශේෂ නිරීක්ෂණ සංචාරයක ද නිරත වී තිබෙනවා.
කෙසේ වෙතත්, පාදයේ තුවාලය සුව වී තිබුණත්, ඇතා තවදුරටත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන බව පශු වෛද්ය කණ්ඩායම් පවසන බවත් අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරනවා.