ලෝක දෘෂ්ටි දිනය අදයි.. 'දරුවනි ඔබේ ඇස් වලට ආදරය කරන්න' වෛද්‍යවරුන්ගෙන් විශේෂ පණිවුඩයක්..
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා. ඇස් පෙනීමේ ගැටලු සහ අන්ධභාවය වළක්වා ගැනීම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනය ලෝක දෘෂ්ටි දිනය ලෙස සමරනු ලබනවා.
මෙවර ලෝක දෘෂ්ටි දිනයේ ප්‍රධාන තේමාව වන්නේ 'දරුවනි ඔබේ ඇස් වලට ආදරය කරන්න' (Love Your Eyes Kids) යන්නයි.
කුඩා අවධියේදීම සිදුකරන සරල අක්ෂි පරික්ෂාවකින් දරුවන්ගේ පෙනීමේ පවතින ගැටලු සහ ආබාධිත තත්ත්වයන් කල්තියා හඳුනාගෙන, ඊට නිසි ප්‍රතිකාර ලබා දීමෙන් දරුවෙකුගේ අනාගතයම සුරක්ෂිත කළ හැකි බව අක්ෂි වෛද්‍යවරුන් විශේෂයෙන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ රූපවාහිනී තිර දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම හේතුවෙන් කුඩා දරුවන් අතර පෙනීමේ ගැටලු ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
දරුවෙකු පොතපත කියවීමේදී හෝ රූපවාහිනිය නැරඹීමේදී අසාමාන්‍ය ලෙස ළං වීම, ඇස් තදින් පිරිමැදීම, නිතර හිසකැක්කුම ඇතිවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වළක්වා ගත හැකි පෙනීමේ දුර්වලතාවලින් පීඩා විඳින අතර, නිසි වේලාවට සිදුකරන අක්ෂි පරීක්ෂාවන් මගින් මෙම තත්ත්වයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකියාව පවතිනවා.