ඉලොන් මස්ක්ගේ නවතම SpaceX අත්හදා බැලීම අතරතුර සිදුවූ නොසිතූ දේ.. Starship රොකට්ටුවේ පහළ කොටස මුහුදට පතිත වෙද්දී ගිනි ගනී..
ලොව ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක්ට අයත් SpaceX සමාගම විසින් සිදුකළ නවතම Starship රොකට්ටු අත්හදා බැලීමේදී එහි පහළ කොටස යළි ගොඩබිමට ගෙන ඒමේ උත්සාහය අත්හැර දැමීමට සිදුව තිබෙනවා.
ඒ අනුව, රොකට්ටුවේ පහළ කොටස වන Super Heavy Booster යළි දියත් කිරීමේ කුළුණ වෙත ගෙනවිත් විශේෂ යාන්ත්‍රික අත් මඟින් අල්ලා ගැනීමට සැලසුම් කර තිබුණ ද, එම උත්සාහය අවලංගු කර එය මුහුද දෙසට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
එහිදී රොකට්ටුවේ පහළ කොටස මුහුදට පතිත වන අවස්ථාවේදී ගිනිගෙන ඇති බව ද සඳහන්.
මීටර් 124ක උසකින් යුත් මෙම දැවැන්ත Starship රොකට්ටුව අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ බොකා චිකාහි පිහිටි Starbase දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සිකුරාදා (13) පස්වරු 4.45ට සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා.
ගුවන්ගත කිරීමෙන් මිනිත්තු හයහමාරකට පමණ පසුව රොකට්ටුවේ පහළ කොටස යළි දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත එම සැලසුම වෙනස් කර ඇති අතර, රොකට්ටුවේ පහළ කොටස මුහුදට යොමු කර තිබෙනවා.
SpaceX සමාගම සඳහන් කර ඇත්තේ මෙවැනි අත්හදා බැලීම්වලදී ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, මෙතෙක් සිදු නොකළ තාක්ෂණික ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීමේදී අවදානම් අවම කිරීමට කටයුතු කරන බවත්ය.
මේ අතර, රොකට්ටුවේ ඉහළ කොටස වන Ship අභ්‍යවකාශය වෙත සිය ගමන අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.
එම කොටස මඟින් Starlink අන්තර්ජාල සේවාව සඳහා භාවිත කරන චන්ද්‍රිකා 26ක් අභ්‍යවකාශයට මුදා හැරීමට සැලසුම් කර තිබෙනවා.
පෘථිවිය වටා වාර 14ක් ගමන් කිරීමෙන් අනතුරුව, ගුවන්ගත කර පැය 22යි මිනිත්තු 30කට පසුව එම කොටස යළි දියත් කිරීමේ කුළුණ වෙත ගෙන ඒමට අපේක්ෂා කරන බව සඳහන්.
ඒ අනුව, එම කොටස ද විශේෂ යාන්ත්‍රික අත් මඟින් අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ ද යන්න අභ්‍යවකාශයේදී සිදුකරන තාක්ෂණික පරීක්ෂාවලින් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.
SpaceX සමාගම මීට පෙර අත්හදා බැලීම් තුනකදී Super Heavy Booster කොටස සාර්ථකව අල්ලා ගැනීමට සමත්ව තිබුණ ද, Starship රොකට්ටුවේ ඉහළ කොටස මෙතෙක් එලෙස අල්ලාගෙන නොමැති බව BBC වාර්තා කරනවා.
රොකට්ටුවේ සියලුම කොටස් යළි භාවිත කළ හැකි තත්ත්වයට පත් කිරීම SpaceX සමාගමේ ප්‍රධාන අරමුණක් වන අතර, එමඟින් අභ්‍යවකාශ ගමන් සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට අපේක්ෂා කරනවා.
මේ අතර, Starship ව්‍යාපෘතියේ ප්‍රගතිය අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA ආයතනයේ ඉදිරි චන්ද්‍ර මෙහෙයුම් සඳහා ද අතිශය වැදගත් වනවා.
2028 වසරේදී යළි මිනිසුන් සඳ මත ගොඩබැස්වීමේ NASA සැලසුම සඳහා SpaceX සමාගම විසින් Starship රොකට්ටුවේ ඉහළ කොටස චන්ද්‍ර ගොඩබැස්වීමේ යානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා Starship ව්‍යාපෘතියේ තවත් තාක්ෂණික අත්හදා බැලීම් රැසක් සාර්ථකව අවසන් කළ යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මූලාශ්‍රය: BBC