ගෑස් පෝලිම් බිය දුරු කරන ලිට්රෝ සමාගමෙන් සුබ ආරංචියක්.. දින දෙකකින් ගෑස් හිඟයට සම්පූර්ණ විසඳුමක්..
පසුගිය දින කිහිපය පුරා බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ ප්රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩර ලබාගැනීමේ යම් අපහසුතාවක් සහ හිඟයක් මතුවීමත් සමඟ, ජනතාව තුළ නැවතත් අතීත ගැටලුකාරී මතකයන් අවදි කරමින් යම් නොසන්සුන් බවක් ඇති වී තිබුණි.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන පාරිභෝගික ජනතාවට අස්වැසිල්ලක් ගෙන දෙමින් සහනදායී ප්රවෘත්තියක් ප්රකාශ කිරීමට ලිට්රෝ (Litro) සමාගම පියවර ගෙන තිබෙනවා.
පවතින මෙම තාවකාලික ගෑස් හිඟය එළඹෙන අනිද්දා (18) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර බෙදාහැරීම් සාමාන්ය පරිදි සිදුකිරීමට හැකි වනු ඇති බව ලිට්රෝ සමාගම සඳහන් කළා.
මෙට්රික් ටොන් 3,500ක විශාල ධාරිතාවකින් යුත් ගෑස් රැගත් නෞකාව නියමිත වේලාවට මෙරටට ළඟා වීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය මතු වූ බව මෙහිදී මතුවූ හදිසි හිඟයට හේතුව පැහැදිලි කරමින් ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ප්රකාශ කළා.
එහෙත් මේ වන විටත් අදාළ ගෑස් නෞකාව දිවයිනට ළඟා වී ඇති අතර, එහි අඩංගු ගෑස් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, කඩිනමින් දිවයින පුරා බෙදාහැරීම් ජාලය යථා තත්ත්වයට පත් කරමින් පාරිභෝගිකයන්ට අවශ්ය ගෑස් සිලින්ඩර ලබා දීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් තහවුරු කළා.
මේ අතර, දිවයිනේ ඇතැම් ප්රදේශවල ලාෆ් (Laugfs) ගෑස් හිඟයක්ද පවතින බවට තොරතුරු වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන්ද පාරිභෝගිකයන් මේ වන විට දැඩි අවධානයෙන් පසුවනු දැකගන්න පුළුවන්.