අන්තිම පන්දුව දක්වා ගිය තියුණු සටනක්.. බංග්ලාදේශය පරාජය කරමින් ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවන් ලැබූ විශිෂ්ට ජයග්රහණය..
පාකිස්ථානයේ ෆයිසලාබාද්හිදී පැවති පාකිස්ථාන කාන්තා යොවුන් 20/20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංගලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්රථමයෙන් පන්දුවට පහදුන් ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා.
මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නියැළුණු සංජනා කාවින්දි පන්දු 44කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් රැස් කළ අතර, උමයංගනා පීරිස් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා.
මීට අමතරව, විමෝක්ෂා බාලසූරිය ලකුණු 23ක් සහ නෙත්මි උපේක්ෂා ලකුණු 22ක් ලබා ගනිමින් ඉනිම වර්ණවත් කළ අතර, පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් ෆර්ජානා එස්මින් කඩුලු 3ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංගලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සාදියා ඉස්ලාම් ලකුණු 59ක් සහ සාදියා අක්තර් ලකුණු 35ක් රැස් කළද, ශ්රී ලංකා පන්දු යැවීම හමුවේ ඔවුන්ට ජයග්රහණය අසලටම පැමිණ පරාජය වැළඳ ගැනීමට සිදු වුණා.
ශ්රී ලංකා පන්දු යැවීමේදී චමෝදි හේරත් කඩුලු 2ක් සහ දනෝධ්යා සෙව්මිනි කඩුලු 1ක් දවා ගනිමින් ජයග්රහණය තහවුරු කිරීමට මනා දායකත්වයක් ලබා දුන්නා.