අධික වැස්සෙන් නිල්වලා ගඟ පිටාර මට්ටමට.. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කටම සුළු ගංවතුර අවදානමක්..
දිවයින පුරා දැනට පවතින තද වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ රැසක පහත් බිම් සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් හටගැනීමේ දැඩි අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
නිල්වලා ගංගා ධ්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ට අයත් ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඉදිරි පැය 24 තුළ ඇතිවිය හැකි මෙම සුළු ගංවතුර තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා සූදානමින් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියා.
එමෙන්ම, නිල්වලා ගඟ දෙපස පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බැවින්, අදාළ ප්‍රදේශවල ගමනාගමනයේ යෙදෙන පදිකයින් සහ රථවාහන පදවන්නන්ද මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා.
ගංගා ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ගඟට ආසන්නව වෙසෙන ජනතාවට සහ කුඩා දරුවන්ට ගඟට බැසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසත්, යම් හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවරයන් වහාම අනුගමනය කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.