වැසිත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්.. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක විශේෂ මෙහෙයුමක්..
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයින පුරා යළිත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර අනතුරු අඟවා තිබෙනවා.
මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් තුළ විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ (14) සිට නිල වශයෙන් ආරම්භ කළ අතර එය ලබන 19 වැනිදා දක්වා පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,634 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74ක් ලෙසයි සටහන් වුණා.
මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන රෝගීන් සංඛ්‍යාව හමුවේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් තම පරිසරය පිරිසිදුව තබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම නේවාසික පරිශ්‍රයන් තුළ ජලය රැඳෙන ස්ථාන නිරන්තරයෙන් නිරීක්ෂණය කර විනාශ කිරීම මගින් ඉදිරි දිනවලදී ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙනවා.