ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම Amphibious යාත්‍රාව යුරෝපයට.. ශ්‍රී ලංකා නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක්..
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරමින් යුරෝපයට අපනයනය කිරීමේ විශේෂ අවස්ථාව ඊයේ (10) පැවැත්වුණා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් මෙම ඓතිහාසික අවස්ථාව කොග්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේදී පැවැත්වුණා.
"ඕෂන් වොයේජර් ඉන්ටර්නැෂනල්" (Ocean Voyager International) සමාගම විසින් අතිනූතන තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද මෙම යාත්‍රාව, මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පුනරුදයක ආරම්භය සනිටුහන් කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ පිළිබඳව සටහනක් තබමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මැද පිහිටි අප රටට, කෙටි කාලීනව වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස බෝට්ටු සහ නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන තිබේ. අපගේ දක්ෂ ඉංජිනේරුවන්ගේ සහ සේවකයන්ගේ දායකත්වයෙන්, ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.''