හලාවත ඛේදවාචකයේ තවත් තොරතුරු රැසක් එළියට..
Tuesday, 22 October 2024 - 9:48 | Views - 583

හලාවත, සිංහපුර ප්‍රදේශයේ සිය නිවස තුළදී ගින්නකට හසු වී මියගිය බවට සැක කෙරුණු මව සහ දියණිය, ඝාතනය කර ඇත්තේ පියා විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කරගෙන තිබෙනවා.
මළ සිරුරු සම්බන්ධයෙන් අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිවුණේ මවගේ ගෙලෙහි තියුණු ආයුධයකින් එල්ල කළ පහර 6ක් සහ දියණියගේ ගෙලෙහි කැපුම් තුවාල ඇති බවයි.
ඔවුන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් පසු පියා ද ගිනි තබාගෙන දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
හලාවත - සිංහපුර ප්‍රදේශයේ ගිනිගනිමින් තිබූ දෙමහල් නිවසක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සහ කාන්තා මළ සිරුරු දෙකක් පොලිසිය සොයා ගත්තේ පසුගිය දා යි.
නිවසේ පහත මහලේ කාමරයක ඇඳක් මත තිබී ගෙළ සිඳී ගිය කාන්තා මළ සිරුරක් හමු වූ අතර ආලින්දයේ තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් පොලිසිය සොයා ගත්තා.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූයේ 51 හැවිරිදි පියා 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇති බවයි.
ගෙළ සිඳී මියගොස් සිටි කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරිනියක් වූ අතර පිළිස්සී මියගිය පුද්ගලයා ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපාරයක නිරත වූවෙකු බව පොලිසිය සඳහන් කළා.
මෙම මරණ ත්‍රිත්වය දැඩි ආන්දෝලනයකට තුඩුදීම හේතුවෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා.
නිවසේ තිබී හමුවූ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කෙරුණේ හලාවත මහ රෝහලටයි.
හලාවත විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් එම පරික්ෂණ සිදුකළ අතර එහිදී පළමුව පරික්ෂා කර තිබුණේ 44 හැවිරිදි කාන්තාවගේ මළ සිරුර පිළිබඳවයි.
එහිදී අනාවරණය වුණේ ඇයගේ ගෙලට තියුණු ආයුධයකින් පහර 6ක් එල්ල කර ඇති අතර අධික ලේ වහනය හේතුවෙන් ඇයගේ මරණය සිදුව ඇති බවයි.
පසුගිය 19 වැනිදා පෙරවරු 8න් පමණ පසුව මෙලෙස එම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.
මියගිය 15 හැවිරිදි දියණියගේ ගෙලෙහි ද තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් සිදු වූ තුවාල දෙකක් නිරීක්ෂණය වී තිබූ අතර එම තුවාල සහ ගින්නෙන් පිළිස්සීම හේතුවෙන් ඇය මියගොස් ඇති බව මෙහිදී අනාවරණ වුණා.
පිලිස්සී මියගොස් සිටි 51 හැවිරිදි පුද්ගලයාගේ සිරුරේ කිසිදු තුවාල සලකුණක් දක්නට නොලැබුණු බවත් පිළිස්සීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ ශරීරයේ ඉහළ ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු වී තිබූ බව ද තහවුරු වුණා.
සිරුරු සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා උපදෙස් දී තිබුණේ දින 14කට පසු සිරුරු ඥාතීන් වෙත භාර දෙනතුරු මෙම මළසිරුරු මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙසයි.
මෙම මරණ සම්බන්ධයෙන් පොලිසිය ද සිය විමර්ශන ඔස්සේ කරුණු රැසක් අනාවරණ කරගැනීමට සමත්වුණා.
ඒ අනුව, ඉකුත් 19 වැනිදා පෙරවරුවේ නිවසේ පහත මහලේ කාමරයක් තුළදී සැමියා විසින් ඔහුගේ බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් පසු සිරුර නිරුවත් කර පුළුස්සා දැමීමට උත්සාහ කර ඇති බවයි.
ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය එදින උපකාරක පන්තියකට සහභාගී වීම හේතුවෙන් නිවසේ සිට නැහැ.
ඇය උපකාරක පන්තිය අවසන් වීමෙන් අනතුරුව දහවල් නිවසට පැමිණීමට සූදානම් වන අවස්ථාවේ පියා විසින් ඇයව හලාවත මැල්පුරේ පිහිටි ඇගේ දහම් පාසැල් මිතුරියකගේ නිවසේ රඳවා තිබුණේ මව අසනීප තත්ත්වයකින් පසුවන බව පවසමින්.
පසුව ඇයව නැවත නිවසට රැගෙන ඒමද සිදුකර ඇත්තේ ඇයගේ පියා විසින්.
එදින දින රාත්‍රී 8.15ට පමණ පියා විසින් දියණියගේ ද ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
අධික ලෙස මත්පැන් භාවිතා කර සිටි ඔහු දියණියගේ සිරුරට ද ගිනි තබා ඇති අතර පසුව තම සිරුරටත් භූමිතෙල් දමා දිවි නසාගෙන ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඉඩම් කොටස් කර අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වන මොහු බොහෝ පිරිසකගෙන් කලක පටන් ණය මුදල් ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ බිරිඳට අයත් හලාවත කොක්කාවිල ප්‍රදේශයේ අක්කර 5ක ඉඩමක් සම්බන්ධයෙන් කලක පටන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවටයි.
ඝාතනය සිදු වූ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා.
Share This Article