වැඩබලන පොලිස්පතිවරයෙකු ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
Wednesday, 14 August 2024 - 11:33 | Views - 250

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා .
නීතිඥ ශාන් රණසුරිය විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර,
එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර, ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට කටයුතු සිදුකරීමේ වගකීමත් ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු සඳහන් කළා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීම සිදු නොකෙරුණු බවත් ඉන් පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් හටගෙන තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එසේම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරු එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් සිහිපත් කළා.
එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු, එහෙත් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අලි ශබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.
මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව උපරිමාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර තිබෙන බව පවසන පෙත්සම්කරු වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම තුළින් මහජන ආරක්ෂාව අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.
එබැවින් ජනාධිපතිවරයා චේතනාන්විතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.
මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුදුසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන මෙන් ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එසේම වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
එසේම සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරත් ඉල්ලා තිබෙනවා.
Share This Article