තීරණාත්මක සාකච්ඡාවකින් පසු , අද ලැබෙන තීරණය..
Monday, 29 July 2024 - 9:04 | Views - 482

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මීට පෙර ද ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, ඒවා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව මේ වනවිට ප්‍රකාශ කර අවසන්.
ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පාර්ශව 03 කට කැඩී ගොස් ඇති බවට වාර්තාවනවා.
එම පක්ෂයේ නායකයින් කණ්ඩායම් 03 කට බෙදී ජනපති අපේක්ෂකයන් තුන්දෙනෙකුට උදව් කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු කණ්ඩායමක් ජනපති අපේක්ෂක වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති බව වාර්තාවනවා.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුලු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන බවට ප්‍රකාශ කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කර තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය ලබාදෙන ජනපති අපේක්ෂකයා අනිද්දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
එමෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන මස 10 හෝ 11 ගැනීමට නියමිත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී.
Share This Article