ලොව පුරා IT දෝෂය යථා තත්ත්වයට , තවමත් විසදෙමින් යන ගැටලුව ගැන නවතම තතු..
Saturday, 20 July 2024 - 10:05 | Views - 274

ලොව පුරා බිලියන 1.2ක පිරිසක් එදිනෙදා භාවිතා කරන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ඇතුලු යෙදවුම් සේවා බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ නිසා ලොව පුරා බිඳවැටුණු සේවාවන් යථා තත්වයට පත්වීම තවදුරටත් සිදුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ඇතුලු යෙදවුම් සේවා බිද වැටීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවුණා.
ගුවන් ගමන්, බැංකු සේවා සහ රූපවාහිනී නාලිකා විකාශන කටයුතුවලට මෙමගින් දැඩි බලපෑම් එල්ලවුණා.
මෙම තත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත වින්ඩෝස් භාවිතා කරන්නන්ට බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ද ඩෙත් නම් දෝෂයක් මතුවුණේ, පරිගණක තිරය නිල් පැහැ ගන්වමින්.
මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ක්‍රවුඩ්ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ මෘදුකාංගයේ ඇති වූ දෝෂයක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවට සැක පළ කරන බවයි.
මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ඇතුලු ප්‍රධාන යෙදවුම් සේවා රැසක බිඳ වැටීම පළමුව වාර්තාවී තිබුණේ අමෙරිකාවෙන්.
ඉන් අනතුරුව අසල්වැසි ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බි්‍රතාන්‍යය, ස්පාඤ්ඤය, ජර්මනිය, මලයාසියාව, සිංගප්පූරුව, චීනය, ජපානය, පෝලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර්, ඩුබායි ඇතුලු නගර හා රටවල් රැසක මෙලෙස තාක්ෂණික බිඳවැටීම් දක්නට ලැබුණා.
සිදු වූ මෙම මහා පරිමාණ තොරතුරු තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ලොවපුර ක්ෂේත්‍ර රැසක් අඩපණ වූ අතර ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් ගමන් රැසක්ද තාවකාලිව නවතා දැමීමට සිදුවුණා.
අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ස්පාඤ්ඤය, ජපානය, ඩුබායි සහ පෘතුගාලය ඇතුළු රටවල් රැසක ප්‍රධාන ගුවන් තොටුපොළ තුළ දැඩි ගැටලුකාරී තත්වයන්ද හට ගෙන තිබුණා.
එමෙන්ම මෙම බිඳවැටීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට පෞද්ගලික ආයතන කිහිපයක මෙහෙයුම් කටයුතුවලට ද බාධා එල්ල වුණා.
කෙසේ වෙතත්, සයිබර් ආරක්ෂණ මෘදුකාංගය යථාවත් කිරීමට ගොස් ලොව පුරා සේවාවන් බිඳවැටීම සම්බන්ධයෙන් ක්‍රවුඩ්ස්ට්‍රයික් ආයතනයේ විධායක නිලධාරී ජෝර්ජ් කර්ට්ස් සමාව අයැද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Share This Article