'' අපොයි, එයාට නම් කිසිම හිතක් පපුවක් නෑ ..'' ඔයාත් මිනිස්සුන්ට මෙහෙම කියනවා ද?
Saturday, 22 June 2024 - 13:48 | Views - 322

තමන්ගෙ ජීවිතයේ කිසිම වේදනාවක් පිටතට නොපෙන්වන මිනිස්සු කොටසක් ඉන්නවා.
නිතර අඬන්නෙ නැති ,කුණු කුණු ගගා දුක කියවන්නේ නැති ,ඍජු පෞරුෂයක් එක්ක ඉතාම හයියට වටපිටාවට සහ ලෝකෙට මේ මිනිස්සුන්ව පේනවා .
එහෙම පෞරුෂයක් දැක්ක ගමන්ම අපිට.
අපෝ එයාට නම් හිතක් පපුවක් නෑ ,යකෙක් වගේ එකෙක් , එම්පති එකක් ගෑවිලා වත් නෑ ,එයාට කිසි ගානක් නෑ කියලා කියවෙනවා ..එහෙම ගැහැණු සහ පිරිමි දෙගොල්ලොම ඉන්නවා .
අපිට එහෙම හිතුනට ඒක නෙමෙයි ඇත්ත.
ඒ තමයි ඇතුලෙන් දියවෙන මිනිස්සු .
එහෙම මිනිස්සු ක්ෂය වෙන්නෙ ඇතුලතින් .
විඳවන්නේ ඇතුලෙන් .
අඬන්නේ හදවතින් .
දරාගන්නේ අභ්‍යන්තරයෙන් .
තමන් මුහුණ දීපු අත්දැකීම් ,වගකීම් ,යුතුකම් ,තනතුරු හෝ වෙනත් මොන හේතුවක් නිසා හරි ලෝකෙට, තදට ,බරට ,ගැඹුරට පෙනෙන හුඟක් චරිත ඇතුලතින් බොහොම සිනිඳු මෘදු මිනිස්සු.
අවාසනාවට ඔවුන්ගේ පිටතට පෙනෙන දරාගැනීම නිසාම ඔවුන්ට පවුලෙන් ,සමාජෙන් ,ලෝකෙන් ලැබෙන වගකීම් පරිමාණයත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වැඩියි .
ඒ මිනිස්සු තමන්ගේ දුක වේදනාව දරාගැනීම ලෝකයෙන් පාලනය කරගන්න දරණ ආයසය ලේසියෙන් කෙනෙකුට පෙනෙන්නේ නැහැ ,දැනෙන්නෙ තේරෙන්නෙ නැහැ.
එහෙම මිනිස්සු ලෙහෙන්නෙ දියවෙන්නෙ තමන්ට ඉතාම පහසු අව්‍යාජ කළාපයකදී විතරයි ..ඒ කළාපයෙන් පිට කිසිම කෙනෙකුට ඒ මිනිස්සුන්ගෙ අභ්‍යන්තරය යන්තන් වත් ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ.
අහම්බෙන් හරි ඒ වගේ ගැඹුරු තද මනුස්ස ආත්මයක් අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන්න ලැබුනොත් අන්න එදාට ඔබට මේ ලෝකේ දුලබ සුන්දරම මනුස්සයෙක් මුණ ගැහෙනවා.
මනෝ උපදේශන ජීවිතයේ මටත් ඉඳල හිටලා එහෙම අය හම්බෙනවා , එහෙම කෙනෙක් එක්ක එක counselling session එකක් කලාම මටත් සතියක් විතර හිතන්න දේවල් ඉතුරු වෙනවා.
ඇත්තටම ,පට්ට හයියට ලෝකෙට පෙනෙන ,ගැඹුරු ප්‍රතාපවත් ,හිතක් පපුවක් නෑ කියල හිතෙන තරමේ තද පෞරුෂ අස්සේ ඔබට විශ්වාස කරන්නත් බැරි බොහොම සරළ ඉතා සුන්දර යුනික් මනුස්ස ආත්ම හැංගිලා තියනවා.
එහෙම මිනිස්සු ඔයාට ජීවිතයේ කිසි දාක නොදුටු කළාපයකට දොර ඇරලා දෙනවා.
(උපුටා ගැනීමකි.. )
Share This Article