වසර හයකින් මිලියන 22 දක්වා ඉහළ යන, භයානක රෝගය ගැන අනතුරු ඇඟවීම
Wednesday, 19 June 2024 - 12:49 | Views - 420

අවිවේකී බව , ආතතිය විතරක් නෙවෙයි, අපේ ආහාර පුරුදු නිසාත් අද වෙනකොට පිළිකා රෝගය හිස ඔසවලා..
මේ කියන්න යන්නේ ඒ ගැන අලුත්ම පර්යේෂණයකින් හෙළි වුණ කතාවක් ගැනයි.. මිලියන 18ක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය, වර්ෂ 2030 වන විට මිලියන 22ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරනවා... ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී ඒ බව පැවසුවා..
පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි බවයි ඇය පවසන්නේ..
පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය යෝගා ඇන්තනී මේ බව ප්‍රකාශ කළා..
එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය කියා සිටියේ, පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බවයි.. දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්රිත පිළිකා වර්ධනය වන බවත්, මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය මෙහිදී පැවසුවා...
පිළිකාවලින් 1/3ක් ප්‍රථම අවස්ථාවේදී හදුනා ගැනීම මගින් සම්පූර්ණයෙන් තුරන් කළ හැකි බවත්, තවත් 1/3ක් කල් තබා හදුනා ගැනීම තුළින් පාලනය කළ හැකි බවත් වෛද්‍යවරිය පැවසුවේ, අනෙක් 1/3 රෝගය වැළදුණත් රෝගියාට අවසන් අවස්ථාව දක්වා සාමාන්‍ය පරිදි ජීවත්විය හැකි තත්ත්වය දක්වා පාලනය කළ හැකි බවයි..
මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාරවලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා පිළිකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මෙහිදී පවසා තිබුණා..
Share This Article