අදත් කාර්යාල දුම්රිය 20ක් අවලංගුයි - පා පුවරුවේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී රාගම ශික්ෂණ රෝහලට.. (Video)
Monday, 10 June 2024 - 10:01 | Views - 338

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර විස්සක් අවලංගු කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.
එමෙන්ම, අද උදෑසන දුම්රිය ගමන් වාර 64ක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව අද දිනයේ ධාවනයට සැළසුම් කර ඇති දුම්රිය සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ - කොටුව දක්වා දුම්රිය ගමන් වාර 11ක් ද, හලාවත මාර්ගයේ සහ උතුරු මාර්ගයේ සිට කොළඹ - කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4 බැගින්ද ක්‍රියාත්මක බවයි එහි දැක්වෙන්නේ.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ - කොටුව දක්වා දුම්රිය ගමන් වාර 18 ක් ක්‍රියාත්මක අතර, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 3 ක් සහ කොළඹ - කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය හතක් ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දුර ගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 6 වනදා සිටයි.
කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා අද සිට විශ්‍රාමික දුම්රිය රියැදුරන් යළි සේවයට කැඳවීමටයි දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
මේ අතර, වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිතයි. පවතින තත්වය හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ අද දිනයේ ධාවනය කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා.
දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වන අතරේ පොල්ගහවෙල සිට කොළඹ බලා පැමිණි දුම්රියේ පාපුවරුවේ පැමිණි පුද්ගලයෙකු ඉන් වැටී තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මේ අතර, අද උදෑසන මෙම සිද්ධිය වාර්තාවන්නේ ගනේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදියි.
වර්ජනය හේතුවෙන් සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනය වන අතර, අධික මගීන් පිරිසක් එහි ගමන් කිරීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
Share This Article