උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරය වෙත යළි වැඩම කරවීමේ පින්බර අවස්ථාව අද.. (Video)
Monday, 27 May 2024 - 7:59 | Views - 835

ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ මාතලේ අලුවිහාර පින්බිමේ සිට කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරය වෙත වැඩම කරවීම ඊයේ (26) දිනයේ සිදුවුණා.
ඒ අතරතුර ගමන් මගේදීත් ස්ථාන රැසකදීම දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.
අස්සැද්දුම විහාරයේදී පහන් වනතුරුම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව උදාකර දුන් අතර , අද පස්වරුවේ වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරය වෙත ධාතූන් වහන්සේ යළි වැඩම කරවීමට නියමිතයි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ඇරඹි හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී ආරම්භ කෙරුණේ පසුගිය 24 වනදායි.
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේ ඊයේ උදෑසන දක්වාම මාතලේ අලුවිහාර පුණ්‍ය භුමියේ තැන්පත් කර තිබුණා.
කිලෝමීටර ගණන් දිගු පෝලිම්වල රැඳී සිටිමින් සැදැහැවතුන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා.
ඒ අනුව දින දෙකක් පුරා සැදැහැවත් ජනතාවට වන්දනාමාන කිරීම උදෙසා ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේ පවත්වනු ලැබූ හිරු උත්තම ධාතු වන්දනාව ඊයේ උදෑසන අවසන් කෙරුණා.
ඒ අනුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා මාතලේ අලුවිහාර පුදබිමේදී ඊයේ උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වූයේ මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේයි.
අනතුරුව වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම සඳහා ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති කරඬුව ඒ වෙනුවෙන් සකස් කෙරුණු විශේෂ කුටියේ තැන්පත් කෙරුණේ පැමිණ සිටි සැදැහැවතුන්ගේ සාධු නාදය මධ්‍යයේයි.
මඟ දෙපස රැඳී සිටි දහස් ගණන් ජනතාවටත් උතුම් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවුණා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ දඹුල්ල රන්දෙණිය රජමහා විහාරස්ථානය වෙත දහවල් සම්බුද්ධ පුජාව සඳහා වැඩම කරවූ අතර අතිවිශාල ජනතාවක් දිගු පෝලිම්වල රැඳී සිටිමින් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට එම විහාරස්ථානයට පැමිණ සිටියා.
දඹුල්ල රන්දෙණිය රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවූ ධාතුන් වහන්සේ උදෙසා දහවල් සම්බුද්ධ පූජාව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දහවල් සම්බුද්ධ පූජාවෙන් අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත දහවල් ගිලන්පස පූජාව සිදුකෙරුණේ මැල්සිරිපුර ධම්මරතන පිරිවෙන් විහාර පරිශ්‍රයේදීයී.
එහිදීද සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමි වුණා.
අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහර පස්වරුවේ කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරය වෙත වැඩම කරවනු ලැබුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සිත් සනහාලමින්.
එම විහාරස්ථානයේ තැන්පත් කෙරුණු කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ රිසි සේ වන්දනා කරගැනීමට අද උදෑසනවන තුරුම සැදැහැවතුන්ට අවස්ථාව හිමිවුණා.
අද(27) දහවල් සම්බුද්ධ පූජාව සඳහා වැලිසර මූලගන්ධකුටි පිරිවෙන් මහා විහාරයට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ අනතුරුව දහවල් ගිලන්පස පූජාව සඳහා වැඩම කෙරෙන්නේ කොට්ටාව මාලප්පල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයටයි.
ඉන් අනතුරුව අද (27) පස්වරුව වන විට සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරය වෙත යළි වැඩම කරවීමට නියමිතව තිබෙනවා.
Share This Article