හෙට ඇරඹෙන හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් අද සිටම මහ සෙනඟක්.. (Video)
Thursday, 23 May 2024 - 14:29 | Views - 349

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සෑම වසරකම පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව මෙවරත් ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී හෙට (24) ආරම්භ කෙරෙනවා.
කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ලබන 26 වැනිදා උදෑසන දක්වා මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජීවමාන බුදුන් වන්දනාව හා සමාන දුර්ලභ අවස්ථාවක් සැදැහැවතුන්ට උදාකර දෙමින්.
.............................................................................
UP DATE.,
ඉතිහාසයේ සඳහන් වන පරිදි ජීවමාන බුදුරජානන් වහන්සේ ලක් දෙරණට වැඩම කළ ආකාරයට උන්වහන්සේගේ නිසැක ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේ නැවත මෙරට පුණ්‍ය භූමි වෙත වැඩම කරවීමේ සැදැහැවත් බලාපොරොත්තුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත හිරු උත්තම ධාතු වන්දනාව සෑම වසරකම සිදු කෙරෙන්නේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීවයි.
ඒ අනුව, මෙවර හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලුවිහාරයට වැඩම කරවන කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් චාරිත්‍රානුකූල ආගමික වතාවත් සිදු කිරීම අද පෙරවරුවේ වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරස්ථානයේ දී සිදු කෙරුණා.
එහිදී අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් අනුශාසනාවක් සිදු කළා.
හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලුවිහාරයට වැඩම කරවන කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨපාන ගිලන්පස පූජාව අද පස්වරුවේ සිදු කෙරුණා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද අද පස්වරුවේ මාතලේ අලුවිහාර පුදබිමට වැඩම කරවීමට නියමිතයි.
ලබන 26 වැනිදා උදෑසන දක්වා මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වීමට නියමිත කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාවෙන් ජීවමාන බුදුන් සියැසින් දුටුවා හා සමානව පින් රැස්කර ගන්නට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මාතලේ අලුවිහාර පුදබිමට පැමිණ පෙළගැසෙමින් සිටිනවා.
ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමේ පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනාවේ සජීවී රූපාවලිය හිරු ටී.වී. ඔස්සේ හෙට දින සජීවීව දැකබලා ගැනීමට සැදැහැවත් ඔබටත් අවස්ථාව හිමිවනවා.
Share This Article