වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්..
Wednesday, 22 May 2024 - 10:00 | Views - 336

අයපහපත් කාලගුණ තත්ත්වයට හේතුවෙන් පවුල් 17 දහස් 78කට අයත් පුද්ගලයින් 67,591කු පීඩාවට පක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114 කට බලපෑම් එල්ල වී ඇති බවයි. නිවාස 502 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම වයඹ පළාතේත් මන්නාරම, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ පැයට කිලෝමිටර 50 දක්වා තද සුළං ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමිටර 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකියි.
එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එහි යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමණකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීශ්වර කියා සිටියේ කැලණි, කලු, ගං, නිලවලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.
අත්තනගලු ඔය සහ කලු ගගේ අතු ගංගාවක් වන කුඩා ගග සුලු ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.
එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුරය, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර දිවයිනේ සියලුම පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නිවේදනය අසත්‍යය බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අද දින සියලුම පාසල් පැවැත්වෙන බවයි. එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ද අද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.
Share This Article