අනියම් සැමියා සමඟ පෙම් කරන්න , බිරිඳ කරපු අමුතු දෙයින් සැමියා රෝහලේ..
Wednesday, 08 May 2024 - 9:49 | Views - 570

විවාහක සැමියාට නිදි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙසේ රක්ෂිත භාරයට පමුණුවා ඇත්තේ, කැප්පෙටිපොළගේ නිර්මිතා යසාදරී නැමති (26) හැවිරිදි කාන්තාවක්.
නිදි පෙති පානය කළ බව කියන සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් (13) දා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත (14) දා මාරු කර යවා තිබෙනවා.
මෙම සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරමින් සිටිති. සැමියා නිඳන්ගත අපස්මාර රෝගය සඳහා ප්‍රථිකාර ලබමින් පසුවෙන අයෙකි.
මොවුන් දෙදෙනා පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නිල නිවාසයකය.
අප්‍රේල් මස (13) වන දින නියමිත වැඩ මුරය නිමා කර නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිදි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන අනියම් සැමියා යැයි කියන අයට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.
තවද , දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර සිටි සෞඛ්‍ය කාර්ය සහයකගේ රුධිර සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.
Share This Article