දෙහිවලින් අතුරුදන් වූ තිදරු පියාගේ මළ සිරුර වැල්ලවත්ත මුහුදු තීරයෙන් හමුවෙයි.. සිද්ධිය පිටුපස ඇති සංවේදී කතාව..
දෙහිවලදී මුහුදට පැන සියදිවි නසාගත් බව කියන 70 හැවිරිදි තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත බොස් සෙල් පෙදෙසේ මුහුදු තීරයේ තිබී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල, වෛද්ය පාරේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයේ තිබෙන බවට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර, පසුව එහි පැමිණි මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් මළ සිරුර හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා ඊට පෙර දිනයේදී සිය දරුවන් සමඟ ආහාරපාන ගෙන විනෝද වී ඇති බවයි.
එමෙන්ම ඔහු නිවසින් පිටව යන අවස්ථාවේදී පරිහරණය කළ අත් ඔරලෝසුව සහ පාවහන් යුවළ නිවසේ තබා ගොස් තිබූ බව පවුලේ සමීප ඥාතීන්ගෙන් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.