නිවාඩුව පටන් ගත්තු දවසෙම සිදු වූ අමිහිරි ඛේදවාචකය.. සයිප්රසයේ හෝටලයකදී පියාගේ නොසැලකිල්ල නිසා සිදුවූ දේ..
සයිප්රසයේ තරු පහේ හෝටලයක සිව්වැනි මහලේ ජනේලයකින් වැටී දෙහැවිරිදි පුත්රයා මියයෑමේ සිද්ධියට වරද පිළිගත් පියාට යුරෝ 3,00 (පවුම් 2,500ක)ක දඩයක් නියම කර තිබෙනවා.
එංගලන්තයේ එසෙක්ස් ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි ජෝෂුවා ෆොස්ටර් (Joshua Foster) නමැත්තාට මෙලෙස දඩ නියම කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.
පසුගිය ජූලි 12 වැනිදා පවුලේ නිවාඩුව ආරම්භ කළ දිනයේදී මෙම අනතුර සිදුව තිබුණේ ක්ලොරකාස් (Chlorakas) ප්රදේශයේ පිහිටි කිං එවෙල්තන් බීච් හෝටල් සහ රිසෝට් (King Evelthon Beach Hotel and Resort) හෝටලයේදීයි.
ජල උද්යානයේ දර්ශනය පෙන්වීම සඳහා තම පුත්රයා ජනේල කවුළුව මත තැබූ අවස්ථාවේදී ජනේලය වසා තිබූ බව සිතා සිටි නමුත්, දරුවාගේ පාලනය ගිලිහී ගිය බව අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා. එහිදී අඩි 40කට ආසන්න උසකින්, එනම් මීටර් 12.1ක පමණ උසකින් වැටීමෙන් දරුවා මියගොස් තිබුණා.
නොසැලකිලිමත්, අවිචාරවත් හෝ අනතුරුදායක ක්රියාවක් හේතුවෙන් මරණයක් සිදුකිරීමේ චෝදනාවට ෆොස්ටර් වරද පිළිගෙන ඇති අතර, ඔහුට සිකුරාදා උදෑසන දඬුවම් නියම කර තිබෙනවා.
දඬුවම ප්රකාශයට පත් කිරීමෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත්, යළි නිවසට ගොස් බිරිඳ සහ දියණිය සමඟ කාලය ගත කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී ෆොස්ටර්, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ බිරිඳගේ මව්පියන් ඇතුළු පිරිස සයිප්රසයට පැමිණ පැය කිහිපයක් පමණක් ගතව තිබූ බවද වාර්තාවේ සඳහන්.
මූලාශ්රය - BBC