සුනාමියෙන් අතුරුදන් වූ 5,644 දෙනෙකුට තවමත් මරණ සහතික නෑ.. ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් විශේෂ හෙළිදරව්වක්..
මෙරටට දැඩි ලෙස බලපෑ 2004 සුනාමි ව්යසනය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 5,644 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චිතව තහවුරු වී නොමැතිවීම නිසා, ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය ප්රකාශ කරනවා.
ආපදා සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මාධ්යවේදීන් දැනුවත් කිරීමේ අරමුණින් ජනමාධ්ය අමාත්යාංශය මගින් ශ්රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (15) සංවිධානය කර තිබූ විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ මෙම අදහස් පළ කළා.
2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින මෙරටට බලපෑ විනාශකාරී සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 30,959 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 5,644 දෙනෙකු මෙතෙක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටින බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පෙන්වා දුන්නා.
අදාළ පුද්ගලයන් මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කිරීමට ප්රමාණවත් සාක්ෂි හෝ තොරතුරු නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට අදාළ මරණ සහතික නිකුත් කිරීමේ ක්රියාවලියේදී යම් යම් නීතිමය සහ වපරසංකීර්ණ බාධා පවතින බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළා.