මියගිය කෙනෙකුගේ මුහුණ පෙන්වා Face ID අගුළු අරින්න පුළුවන්ද? ඇපල් දුරකතනයේ ඇති විශ්මිත ආරක්ෂක පද්ධතිය..
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා දුන්, වර්තමානයේ iPhone 17 දක්වා ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති Face ID තාක්ෂණය පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා ඇති.
අපගේ පෞද්ගලික හා ඩිජිටල් ජීවිතයට අදාළ අතිශය සංවේදී දත්ත ගබඩා කර ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ජෛවමිතික දත්ත (Biometrics) ක්‍රමය ඉතා වැදගත් වන බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පසු, ඔහුගේ ජංගම දුරකතනයේ අගුළු ඇරීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළ බවට මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ Face ID පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වුණා.
ඔහුගේ දුරකතනයේ ආරක්ෂාවට Face ID භාවිත කර තිබීම නිසා අගුළු ඇරීමට නොහැකි වූ අතර, ඒ සඳහා දුරකතනය නිෂ්පාදිත සමාගමට හෝ විදේශීය විශේෂඥ ආයතනයකට යොමු කිරීමට නියෝගයක් ඉල්ලමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළා.
ඇපල් සමාගමේ TrueDepth කැමරා පද්ධතිය මඟින් මුහුණ වෙත ඇසට නොපෙනෙන තිත් දහස් ගණනක් ප්‍රක්ෂේපණය කර මුහුණේ 3D සිතියමක් (Depth Map) සහ අධෝරක්ත රූපයක් (Infrared Image) ලබා ගන්නවා.
Face ID තාක්ෂණයට අදාළ පුද්ගලයා ජීවී තත්ත්වයේ සිටින බව (Liveness) හා ඔහුගේ ඇස් විවෘතව දුරකතනය දෙස අවධානයෙන් බලා සිටින බව හඳුනාගත හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පෙන්වා දුන්නා.
එබැවින්, පුද්ගලයෙකු මියගිය පසු හෝ නිදා සිටින අවස්ථාවක ඔහුගේ මුහුණ පෙන්වා සාමාන්‍ය ක්‍රමයට දුරකතනය අන්ලොක් කිරීම අතිශය අපහසු බව ඇපල් සමාගම තහවුරු කර තිබෙනවා.
දුරකතන නිෂ්පාදන සමාගම්වලට පවා මේ ආරක්ෂණ පද්ධති මඟ හැර යාම (Override) අපහසු වුවද, ලොව වටා ඇති විමර්ශන ආයතන මේ සඳහා විශේෂිත උපකරණ භාවිත කරනවා.
උදාහරණයක් ලෙස, මීට පෙර ඇමෙරිකාවේ FBI විමර්ශන කාර්යාංශය විසින් ඊශ්‍රායල් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Cellebrite හි මෘදුකාංග හා මෙවලම් භාවිත කරමින් අගුළු දැමූ iPhone දුරකතනවලින් දත්ත ලබා ගැනීමට කටයුතු කළ බව වාර්තා වෙනවා.
කෙසේවෙතත්, මෙය උපාංගයේ මාදිලිය හා එය නිෂ්පාදනය කළ වර්ෂය මත රඳා පවතින බව විශේෂඥයින් ප්‍රකාශ කළා.
යමෙකුට තම මරණයෙන් පසු තමන්ගේ ඇපල් ගිණුමේ (iCloud) දත්ත වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව විශ්වාසවන්ත පුද්ගලයෙකුට ලබා දිය හැකියි.
ඇපල් සමාගම මෙය Legacy Contact එකක් ලෙස හඳුන්වනු ලබනවා.
එමඟින් අදාළ පුද්ගලයා මරණ සහතිකය හා රහස් කේතය (Access Key) සමඟ Appleහි හිමිකම් වෙබ් අඩවිය හරහා ඉල්ලුම් කළ යුතු අතර, එය අනුමත වූ පසු මියගිය තැනැත්තාගේ iCloud දත්ත (Keychain මුරපද හැර) ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ඇපල් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා.
මූලාශ්‍රය | බීබීසී