ඔබත් iPhone 15 හෝ 16 පාවිච්චි කරන කෙනෙක්ද? AI ගැන ඇපල් සමාගම දුන් බොරු පොරොන්දුව..
Thursday, 07 May 2026 - 14:14 | Views - 92

නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත නඩුවක් අවසන් කිරීම සඳහා, තෝරාගත් iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට ඇපල් සමාගම එකඟවෙලා තිබෙනවා.
කිසිදු වරදක් පිළිගැනීමට ඇපල් සමාගම මෙහිදී කටයුතු නොකළද, නීතිමය ගැටලු විසඳා ගැනීම සඳහා මේ දැවැන්ත මුදල ගෙවීමට ඔවුන් පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකළා.
ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් "Apple Intelligence" පද්ධතිය හා 'Siri' හඬ සහායකයාගේ නව දියුණු කිරීම් පිළිබඳව සිදුකළ අලෙවිකරණ ප්‍රයත්නයන් අසත්‍ය ප්‍රචාරණයට සමාන වන බවට නීතිඥයින් චෝදනා කරලා තිබෙනවා.
සමාගම විසින් ප්‍රවර්ධනය කළ ඇතැම් AI හැකියාවන් තවමත් නිර්මාණය වී නොමැති බවත්, ඒවා තවත් වසර කිහිපයක් යනතුරු බිහි නොවන බවත් නීතිඥයින් පෙන්වා දුන්නා.
මේ තීරණයත් සමඟ 2024 ජූනි හා 2025 මාර්තු අතර කාලය තුළ අමෙරිකාවේදී iPhone 15 හා iPhone 16 මිලදීගත් පුද්ගලයින්ට ඇපල් සමාගමෙන් වන්දි මුදල් ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එක් පරිශීලකයෙකුට ඩොලර් 25ත් 95ත් අතර මුදලක් ගෙවීමට ඇපල් සමාගම එකඟවෙලා තිබෙනවා.
ධුරයෙන් ඉවත්ව යන ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ද වසර ගණනාවක් පුරා ප්‍රමාණවත් තරම් නව්‍යකරණයක් සිදුනොකිරීම පිළිබඳව දැඩි විවේචනයට ලක්වෙලා තිබෙනවා.
OpenAI හා Anthropic වැනි සමාගම් සමඟ තරග කිරීමට ගොස් ඇපල් සමාගම මෙලෙස පරිශීලකයින්ට අසත්‍ය පොරොන්දු ලබාදී ඇති බව මෙහිදී චෝදනා එල්ලකරලා තිබෙනවා.
Share This Article