ඉන්ධන නිකුත් කරන ඔත්තේ හා ඉරට්ටේ ක්‍රමය ඉවත් වෙයි. ඉන්ධන නිකුත්කිරීම ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.
රට තුළ දැනට ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ හා ඉරට්ටේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කර, QR කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම හා පවතින ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දැමීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා.
රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ විශේෂ කමිටු රැස්වීම පවත්වා තිබෙනවා.
එහිදී ඉදිරියේදී මහජනතාවට සහන සැලසීමක් ලෙස ඉන්ධන කෝටාව සංශෝධනය කිරීම හා දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය තහවුරු කළා.
ලබන අගෝස්තු මාසය දක්වා රට තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බව රටේ වත්මන් ඉන්ධන සංචිත පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ බලශක්ති ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දුන්නා.
එමෙන්ම මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයන් ද මේ වන විටත් සාර්ථකව ඉල්ලුම් කර ඇති බව ඔවුන් මෙහිදී අනාවරණය කළා.
මීට අමතරව, එළඹෙන වෙසක් උත්සව සමය වෙනුවෙන් ජනතාවට කිසිදු බාධාවකින් තොරව, අවශ්‍ය පරිදි අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී බලධාරීන්ට විශේෂයෙන්ම අවධාරණය කර තිබෙනවා.
බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවීමට නියමිත මේ සාධනීය වෙනස්කම් හේතුවෙන් ඉදිරි දිනවලදී මෙරට ජනතාවට හා වාහන හිමියන්ට විශාල සහනයක් සැලසෙනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරනවා.