චීනයෙන් පරිසරයට අලුත් බලාපොරොත්තුවක්.. උණ බම්බු වලින් ප්ලාස්ටික් නිපදවන විස්මිත තාක්ෂණය ගැන ඇසෙන කතාව මෙන්න.
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන් විසින් අතිශය සාර්ථක විකල්පයක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, ඛනිජ තෙල්වලින් නිපදවන ප්ලාස්ටික් වෙනුවට උණ බම්බු අණුක ප්ලාස්ටික් (BM-plastics) භාවිතා කළ හැකිබව චීනයේ නෝර්ත්ඊස්ට් ෆොරෙස්ට්‍රි යුනිවර්සිටි (Northeast Forestry University) මගින් සොයාගෙන තිබෙනවා.
මේ නව උණ බම්බු ප්ලාස්ටික්, සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා ඇදහිය නොහැකි තරම් ශක්තිමත් බවද අනාවරණය වෙලා තිබෙනවා.
මෙහි ඇදීමේ ශක්තිය මෙගාපැස්කල් 110 ක් පමණ වන අතර සාමාන්‍ය PLA ප්ලාස්ටික් වලට වඩා දෙගුණයක ශක්තියක් මෙහි පවතින බව සොයාගෙන තිබෙනවා.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ උණ බම්බු සතුව පවතින ඝන හයිඩ්‍රජන් බන්ධන ජාලය (Hydrogen-bond network) බව පර්යේෂකයින් පෙන්වාදීලා තිබෙනවා.
සාමාන්‍ය ප්ලාස්ටික් දිරාපත් වීමට වසර සිය ගණනක් ගතවුවත්, මේ නව ද්‍රව්‍යය පරිසර හිතකාමී ලෙස ඉතා වේගයෙන් පස් බවට පත්වන බව හෙළිවෙලා තිබෙනවා.
පසට දැමූ පසු දින 50ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙය සම්පූර්ණයෙන්ම දිරාපත් වන බව පර්යේෂණ මගින් තහවුරු කරලා තිබෙනවා.
විශේෂම කරුණ වන්නේ, මෙය ප්‍රතිචක්‍රීකරණය කළ පසුවත් එහි මුල් ශක්තියෙන් 90%ක්ම එලෙසම පවතින බව පෙන්වා දීලා තිබෙනවා.
ලෝකයේ වැඩිම උණ බම්බු සම්පතක් හිමි චීනය, මෙමඟින් සිය කාර්මික අංශය කාබන්වලින් තොර කිරීමට (Decarbonize) උත්සාහ කරමින් සිටින බව සඳහන් කරලා තිබෙනවා.
මෙය ඛනිජ තෙල් මත පදනම් වූ නිෂ්පාදනවලට තිරසාර විකල්පයක් ලබා දෙන චක්‍රීය ආර්ථිකයක (Circular Economy) ආරම්භයක් ලෙස හඳුන්වා දීලා තිබෙනවා.
අනාගතයේදී වතුර බෝතලයේ සිට ගෘහ උපකරණ දක්වා සියල්ල උණ බම්බු වලින් නිපදවෙන දිනය වැඩි ඈතක නොවන බව පර්යේෂකයින් විශ්වාසය පළකරලා තිබෙනවා.