කිරිවෙහෙර සාධු නදින් නැහැවූ හිරු සංසාර වන්දනාව (Video)
Monday, 11 November 2024 - 7:21 | Views - 255

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවරට මාධ්‍ය නාලිකාවක් සංවිධාන කළ අසමසම මහා පුණ්‍යකර්මය 'හිරු සංසාර වන්දනා' ඓතිහාසික කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම අද සිදුවුණා.
ඒ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
දින 4ක් පුරා සැදැහැති ජනතාවගේ වන්දනාමාන මැද පැවැත්වුණු මේ මහා පුණ්‍යකර්මයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී 600කට අධික මහ සංඝරත්නය විෂයෙහි දහවල් සංඝගත දක්ෂිණාව ද පැවැත්වුණා.
ලාංකේය ඉතිහාසයේ එතෙක් මෙතෙක් කතරගම කිරිවෙහෙර පුදබිමේ සංවිධාන කෙරුණු විශාලතම කඨින මහා පුණ්‍යෝත්සවය හිරු සංසාර වන්දනා මෙවර පැවැත්වුණේ මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට නිරතුරුව සිය සැදැහැති දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
චිරාගත සම්ප්‍රදායානුකූල වත්පිළිවෙත් පුරා සැකසූ, වන්දනීය කඨින චීවරය පසුගිය 06 වැනිදා ලක් ඉතිහාසයේ දීර්ඝතම චීවර වන්දනාව සනිටුහන් කරමින් පැලවත්ත හිරු ලයිෆ් ස්ටුඩියෝ පරිශ්‍රයට වැඩම කරවූ අතර කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ හිරු ප්‍රධාන කාර්යාලය වෙත වන්දනීය කඨින චීවරය වැඩම කරවූයේ පසුගිය 07 වැනිදායි.
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ වන්දනීය කඨින චීවරය, කතරගම පුදබිමට ඊයේ රාත්‍රියේදී වැඩම කරවූයේ සැදැහැවතුන්ට තවදුරටත් වන්දනා කිරීමට අවස්ථාව සලසා දෙමින්.
මීට සමගාමීව රුපියල් ලක්ෂ 150කට අධික පිරිවැයකින් කිරිවෙහෙර පුදබිමේ සවිකළ සූර්ය පැනල පද්ධතිය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සසුනට පූජා කෙරුණේ ඉදිරි වසර 25ක කාලයක් පුරා නොමිලේ ආලෝකය සැපයීමේ මහා ආලෝක පූජාවට මුල පුරමින්.
අනතුරුව ඓතිහාසික කතරගම පුදබිම ෂඩ් වර්ණාලෝකයෙන් ඒකාලෝක කෙරෙන අතිවිශේෂ අලෝක පූජාව ද පැවැත්වුණා.
කතරගම පුදබිමට පැමිණෙන 25,000කට අධික පිරිසක් වෙනුවෙන් සංවිධානය කෙරුණු සුවිසල් රාත්‍රී සහ උදෑසන මහා දන්වැසල විවෘත කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම මහැඟි පුණ්‍යකර්මයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වුණා.
අනතුරුව අද අලුයම 4.00ට අලි ඇතුන් පිරිවරාගත් සංස්කෘතිකාංගවලින් සමන්විත විචිත්‍රවත් පෙරහරකින් වන්දනීය කඨින චීවරය කිරිවෙහෙර පුදබිම වෙත වැඩම
කරවීම සිදුවුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලක් ඉතිහාසයේ කතරගම කිරිවෙහෙර පුදබිමේ සංවිධාන කෙරුණු විශාලතම කඨින මහා පුණ්‍යෝත්සවය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් කිරිවෙහෙර පුදබිමට රැස්ව සිටියා.
හිරු සංසාර වන්දනා කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ සංඝගත දක්ෂිණාව සැදැහැති සිතින් පිළියෙළ කළේ තරු 5 සූපවේදීන් 100කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන්.
දහවල් බුද්ධ පූජාව ද ඇතුළුව මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළිගැන්වූයේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් දානමය පුණ්‍යකර්මයේ පුණ්‍යානුමෝදනාව සිදු කෙරුණා.
මෙහිදී කඨිනානිශංස ධර්ම දේශනාව සිදුකළේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් විසින්.
මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිදුකරන අසමසම මෙහෙවර අගයමින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙත ස්තූති පූර්වක සමරු ඵලකයක්
ද මහා සංඝරත්නය විසින් මෙහිදී පිළිගන්වනු ලැබුවා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිදුකරන අසමසම මෙහෙවර අගයමින් මෙහිදී මහා සංඝරත්නය විසින් රන් ආලේපිත කිරිවෙහොර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුරුවක් ප්‍රදානය කිරීමද සිදු වුණා.
Share This Article