''හිරු සංසාර වන්දනා'' කඨින මහා පුණ්‍යෝත්සවයේ වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහැර අද කතරගමට.. (Video)
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමුවරට මාධ්‍ය නාලිකාවක් සිදුකරන අසමසම මහා පුණ්‍යෝත්සවය හිරු සංසාර වන්දනා ඓතිහාසික කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවය වන්දනීය කඨින චීවරය රැගත් රිය පෙරහර අද (09) උදෑසන කොළඹ සිට කතරගම දක්වා ගමන් ආරම්භ කළා.
හිරු සංසාර වන්දනා කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවය මෙවර සිදු කෙරෙන්නේ මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට නිරතුරුවම සිය සැදැහැති දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ බැතිබර සංකල්පයකට අනුවයි.
අස්ගිරි මහා විහාරයේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් මෙම මහා පුණ්‍යෝත්සවය පිළිබදව අනුශාසනාවක් ද සිදුකළා.
රුපියල් ලක්ෂ 150කට අධික පිරිවැයක් දරා කිරිවෙහෙර පුදබිමේ විදුලි ආලෝක අවශ්‍යතාවය සපුරාලන සූර්ය පැනල පද්ධතිය සසුනට පූජා කිරීමේ පුණ්‍යකර්මයද අද පස්වරු 6.30ට සිදුකෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
අනතුරුව ඓතිහාසික කතරගම පුදබිම ශඞ් වර්ණාලෝකයෙන් ඒකාලෝක කෙරෙන අතිවිශේෂ ආලෝක පූජාවද සිදු කෙරෙනවා.
සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා අද රාත්‍රී 7.00 සිට වන්දනීය කඨින චීවරය කතරගම ප්‍රධාන බස් නැවතුම් පොළේ සකසා ඇති විශේෂ මණ්ඩපයේ තැන්පත් කෙරෙනවා.
අනතුරුව කතරගම පුද බිමට පැමිණෙන 25,000කට අධික පිරිසක් වෙනුවෙන් සංවිධානය කෙරෙන සුවිසල් රාත්‍රී සහ උදෑසන මහා දන්සල විවෘත කිරීමට නියමිතයි.
එදින රාත්‍රියේ වන්දනීය කඨින චීවරය වෙනුවෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක්ද සිදු කෙරෙනවා.
හෙට අලුයම 4.00ට අලි ඇතුන් සහ සංස්කෘතික අංගවලින් සමන්විත විචිත්‍රවත් පෙරහරකින් වන්දනීය කඨින චීවරය කිරිවෙහෙර පුදබිම වෙත වැඩම කරවනු ඇති.
එදින උදෑසන 6.00ට වන්දනීය කඨින චීවරය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට සඟසතු කොට පූජා කිරීමට නියමිතයි.
හෙට දහවල් 11.00ට හිරු සංසාර වන්දනා ඓතිහාසික කතරගම කිරිවෙහෙර කඨින මහා පුණ්‍යෝත්සවයේ දහවල් දානය 600 නමක් මහා සංඝරත්නය විෂයෙහි පිළිගැන්වෙනවා.
හිරු සංසාර වන්දනා කඨින මහා පුණ්‍යෝත්සවයේ කඨිනාසංස ධර්ම දේශනාව සිදු කෙරෙන්නේ එදින පස්වරු 5.00ටයි.
මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධීකාරී දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල හිමියන්ද මෙම පූණ්‍ය කටයුත්ත පිළීබදව මෙලෙස අනුශාසනා කළා.