ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..
Thursday, 24 October 2024 - 10:17 | Views - 223

මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහුගේ පියා මාලදිවයින් ජාතිකයෙකු වන අතර මව මෙරට කාන්තාවක් බවයි අනාවරණය වුණේ.
ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දියත් කරනු ලබන ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව සඳහන්.
එසේම මොවුන්ට සහය දක්වන ජාලය හදුනා ගැනීමට සඳහා පොලිසිය මේ වනවිට පුළුල් පරීක්ෂයක් ආරම්භ කර තිබෙනවා.
මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ මුල්වරට අනාවරණය කළේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින්.
අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසටයි.
මෙම නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් මාලාවක් යාවත්කාලීන කිරිමට පියවර ගනු ලැබුවා. ඒ අතර බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ රුසියාවද ඇතුළත්.
මෙම තත්ත්වය මත කටුනායක ගුවන්තොටුපල මෙන්ම මෙරට සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය ඊයේ පියවර ගත්තා.
ආරුගම්බේ ප්‍රදේශයට අමතරව පොතුවිල්, මිරිස්ස, වැලිගම, අහංගම, මිදිගම, හික්කඩුව, හබරාදුව, බෙන්තොට, ගාල්ල ත්‍රිකුණාමලය, මීගමුව, නිලාවේලි, මඩකලපුව ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස ආරක්ෂාව තර කර තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායාල ජාතික ආරක්ෂක කවුන්සලය මෙරට රැදී සිටින සිය පුරවැසියන්ට ඊයේ පස්වරුවේ දැනුම් දුන්නේ, ආරුගම්බේ ආශ්‍රිතව සහ දකුණු සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරවලින් වහාම ඉවත් වන ලෙසයි. ඒ අනුව, රටින් පිටවන ලෙස හෝ අවම වශයෙන් කොළඹ නගරයට පැමිණෙන ලෙසත් සෙසු ප්‍රදේශවල සංචාරය කිරීමද කල් දමන දැනුම් සී තිබුණා.
මේ අතර මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.
එහිදී ඔහු කියා සිටියේ ආරක්ෂක කවුන්සලයේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආරක්ෂාව තහවුරු කිරීමට වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කළ බවයි.
කෙසේවෙතත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරට සංචාරය කරන ලෙස සියලු විදෙස් රටවල සංචාරකයන්ට ආරාධනා කරන බවයි.
Share This Article