ඉරානයෙන් ලඳ නොමනා දේ මෙරට පුද්ගලයන් සමඟ ඉන්දියාවෙන් හසු වූ හැටි
Tuesday, 20 April 2021 - 9:29 | Views - 207

දකුණු ඉන්දියාවේ කොචී වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 340ක් සමඟ ශ්‍රී ලාංකික යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.
දූ ශෂිලා නැමති ධීවර යාත්‍රාව එලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති අතර මෙහෙයුම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සුවර්ණා නෞකාව ද එක්වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
එහිදී ඔවුන් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340ක් පමණ වන බවත් ජාත්‍යන්තර වෙළදපොළේදී ඉන්දීය රුපියල් කෝටි 1750ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.
මෙය ඉන්දියානු, මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ ගමනාන්තයන් වෙත ඉන්දියාවේ මාකරන් වෙරළ තීරය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 58 හැවිරිදි විමලසිරි සහ සෝමසිරි, 55 හැවිරිදි ධර්මදාස, 49 හැවිරිදි අජිත් ඉෂාන්ත් පෙරේරා සහ 48 හැවිරිදි ආරියරත්න පෙරේරා යන අය බව ද එමගින් වැඩිදුරටත් කියා සිටියා.
මෙය කේරළ වෙරළ තීරය ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් සති 3ක් තුළ සොයා ගත් දෙවැනි මත්ද්‍රව්‍ය තොගයයි.
පසුගිය මාර්තු 30 වන දා කේරළයේ විලින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී කිලෝග්‍රෑම් 300ක හෙරොයින් තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිවේදනය කළා.
එහිදී ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5ක් සහ උණ්ඩ වට දහසක් ද සොයා ගැනුණා.
නවතම මත්ද්‍රව්‍ය වැටලීමේදී සොයා ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 340 රතු පැහැති ඉරාන යාත්‍රාවකින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවට පටවා ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන තිබෙනවා.
සැක කටයුතු යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මුලින් කිසිවක් සොයා ගැනීමට හැකි වී නැහැ.
එහෙත් එහි පත්ලේ අයිස් සමග අදාළ මත්ද්‍රව්‍ය තොගය සගවා තිබූ බව පසුව සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය අසුරණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒවායේ ප්‍රමිතිය හැදින්වීම සඳහා යොදන කිං - 2021 ලෙස නම් කර තිබූ බව සදහන්.
Share This Article