දික්කසාද නඩුවට පැමිණි යුවළකගේ ආරවුලක් දුරදිග යයි.. මඩකලපුව ගාන්ධි උද්‍යාන රථගාලේ සිදු වූ උණුසුම් ගැටුම..
මඩකලපුව අධිකරණයේ පැවති දික්කසාද නඩුවක් සඳහා පෙනී සිට ආපසු පැමිණෙමින් සිටි සැමියෙකු සහ බිරිඳක අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ගාන්ධි උද්‍යානයේ රථගාලේදී උණුසුම් ගැටුමක් හටගෙන තිබෙනවා.
දෙදෙනා අතර ඇති වූ වාචික බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, එම අවස්ථාවේදී සැමියා සහ බිරිඳගේ සහෝදරයා (මස්සිනා) අතර බරපතල ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
එහි සිටි මහජනතාව මැදිහත් වී දෙපාර්ශ්වය වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන් දැඩි ලෙස කෝපයට පත් සැමියා සිය මෝටර් රථය පණ ගන්වා සිය මස්සිනා දෙසට ධාවනය කරමින් ඔහුව යට කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී මස්සිනා විසින් මෝටර් රථයට පහර දී බරපතල අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි මඩකලපුව මූලස්ථාන පොලිසිය ගැටුමට සම්බන්ධ සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අලාභහානි වූ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.