මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඉකුත් 12 වෙනිදා රාත්‍රී නිවසට රැගෙන එන ලද දෙදරු පියකුගේ මෘත දේහය වෙනත් අයෙකුගේ බවට හඳුනා ගැනීම නිසා දැඩි අපහසුතාවකට පත්වූ ඥාතීන්ට මෘතදේහය නැවත මොනරාගල මහ රෝහලට ගෙනැවිත් භාරදී තම ඥාතියාගේ මෘත දේහය රැගෙන යෑමට සිදුව තිබෙනවා.
ඇතිලිවැව - වෙහෙරයාය පදිංචි ජේ. ඒ. එල්. ඥානතිලක (55) නමැති දෙදරු පියකු ඉකුත් 09 දා සවස ළිඳකට වැටී මියගොස් තිබුණු අතර කුඩාඔය පොලිසිය මඟින් ඔහුගේ මෘතදේහය වැල්ලවාය මූලික රෝහලට ගෙනැවිත් ඇති බවත් සඳහන්.
වැල්ලවාය දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පසුදින (10 දා) මෘතදේහය පී.සී.ආර්. පරීක්ෂණයක් කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී එච්. ආර්. එන්. යාපා මහතා විසින් ඉකුත් 12 දා සවස පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙන අතර මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවා පරිපාලකවරයා විසින් මෘතදේහය එදින සවස ඥාතීන්ට භාරදී තිබෙනවා. ඥාතීන් විසින් මෘතදේහය වැල්ලවාය නගරයේ මල් ශාලාවකට භාරදී ඇතිඅතර එදින මල් ශාලාව මඟින් මෘතදේහය එම්බාම්කොට සකස් කර මධ්‍යම රාත්‍රියේ මෘතදේහය නිවසට ගෙනවිත් භාරදී තිබෙනවා.
ඉකුත් 13 දා මියගිය අයගේ දියණිය මෘත දේහයේ උඩුරැවුල තිබෙන බවට දැක තමාගේ පියා කිසිදිනෙක උඩුරැවුලක් වවා නොමැති බවත් මෘත දේහය තම පියාගේ නොවන බවත් පවසා තිබෙනවා.
පසුව ඥාතීන් විසින් මෘතදේහය පරීක්ෂාකොට ඇති අතර තමන්ගේ ඥාතියාගේ නොවන බවට නියත වශයෙන්ම හඳුනාගෙන පසුව ඒ පිළිබඳව කුඩාඔය පොලිසියට දැනුම්දී පොලිස් නිලධාරීන් සමඟ මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් භාරදී එහි තිබූ ඥාතියාගේ මෘත දේහය ආපසු රැගෙන ගොස් එදිනම සවස මිහිදන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනැවිත් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ඔක්කම්පිටිය මාළිගාවිල රාත්‍රී වැව ප්‍රදේශයේදී ඉකුත් 11 වෙනිදා වන අලියකු පහරදීමෙන් මියගිය අධිකාරි මුදියන්සේලාගේ අනුර ගුණරත්න (61) නමැති අයකුගේ මෘතදේහය මෙලෙස මාරුවී ගොස් ඇති බව පසුව හෙළිවී තිබෙනවා.
මේ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ආර්. එම්. ඞී. රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ,
මෘත දේහයක් නියමිත ඥාතීන්ට භාරදීම සුළු සේවක පාලකවරයාගේ වගකීමක්. ඒවගේම ඥාතීන්ද මෘත දේහය හඳුනාගෙන එය භාරගත යුතුයි.
පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ මෘත දේහයකට වෙනත් මෘත දේහයක් මාරුවීම කිසිසේත් සිදුවන්න බෑ. මෘත ශරීරාගාරයේ සේවකයන්ගේ නොසැළකිල්ල මතයි මෙය සිදුවී තිබෙන්නේ.
මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා.
මියගිය අයකුගේ ඥාතියකු වන එච්. එම්. එස්. බණ්ඩාර මහතා කිව්වේ,
‘‘මෘතදේහය වැල්ලවාය රෝහලට රැගෙන යෑමෙන් පසු මොනරාගල රෝහලට යවා තිබුණා. ඉකුත් 13 වෙනිදා අපි මොනරාගල මහ රෝහලට ගියා. කිසිම ඥාතියෙකුට මෘත දේහය පෙන්නුවේ නෑ. බලන්න දෙන්න බැහැ කිව්වා. සවස පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වලා මෘත දේහය අපට භාරදුන් බවට අත්සන් ගත්තා.
වැල්ලවාය නගරයේ මල් ශාලාවකට දැනුම්දී දේහය නිවසට රැගෙන එන ලෙස පවසා ගෙදර ගියා. මධ්‍යම රාත්‍රියේ මෘතදේහය නිවසට ගෙනාවා.
පසුදින දහවල් අපට ගෙනැවිත් භාරදී ඇති මෘතදේහය මස්සිනාගේ නොවන බවට හඳුනා ගත්තා.
ඒ පිළිබඳව කුඩාඔය පොලිසියට දැනුම්දී පොලිස් නිලධාරීන් සමග මස්සිනාගේ නොවන මෘතදේහය මොනරාගල රෝහලට රැගෙන ගොස් භාරදී අපේ මස්සිනාගේ මෘතදේහය රැගෙන ආවා.’’