අමුත්තන් ලක්ෂ 4ක්, රසකැවිලි ලක්ෂ 80ක්.. ඉන්දියාවම කැළඹූ දේශපාලනඥයෙකුගේ දියණියගේ සුපිරි විවාහ උත්සවය
Saturday, 28 November 2026 - 14:58 | Views - 14
ඉන්දියාවේ දිළිඳුම ප්‍රාන්තය ලෙස සැලකෙන බිහාර් ප්‍රාන්තයේ දේශපාලනඥයෙකුගේ දියණියගේ අති සුඛෝපභෝගී විවාහ උත්සවයක් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල පවා දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

බිහාර් ප්‍රාන්ත සභා මන්ත්‍රී අනන්ත් සිංගේ දියණිය වන ශිවාංගි සිං සහ රිෂිකේෂ් කුමාර්ගේ විවාහ උත්සවය පසුගිය බදාදා (25) පැවැත්වුණේ පට්නා අගනුවර සිට කිලෝමීටර් 65ක් පමණ දුරින් පිහිටි නදාවා ගම්මානයේදීයි.

ප්‍රාන්ත සභාවේ කථානායකවරයා ඇතුළු ප්‍රමුඛ දේශපාලනඥයින් රැසක් සහභාගී වූ මෙම විවාහ උත්සවයට ලක්ෂ 5කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් සමස්ත ගම්මානයම සැණකෙළි භූමියක් බවට පත්ව තිබූ අතර, පට්නා නගරයට පිවිසෙන මාර්ගවල පැය කිහිපයක් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව සඳහන්.

විශේෂ ආරාධිතයින්ගේ පැමිණීම වෙනුවෙන් හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථාන 06ක් ද ගම්මානය තුළ සකස් කර තිබෙනවා.

එමෙන්ම සිය ගණනක් සූපවේදීන් යොදවා රසකැවිලි ලක්ෂ 80ක් ඇතුළුව ආහාර වර්ග 150කට අධික ප්‍රමාණයක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

විවාහ උත්සවයට අශ්වයින් 52 දෙනෙකු සහභාගී කරවා අශ්ව රේස් තරගයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත්, තරගය නැරඹීමට පැමිණි අතිවිශාල ජනකාය ධාවන පථයට ඇතුළුවීම හේතුවෙන් එම තරගය අවසන් මොහොතේ කල් දැමීමටයි සිදුව ඇත්තේ.

එම තරගයේ ජයග්‍රාහකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ත් 20ත් අතර වටිනාකමකින් යුත් සුඛෝපභෝගී SUV රථයක් පිරිනැමීමට ද කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

දෙවැනි සහ තුන්වැනි ස්ථාන සඳහා යතුරුපැදියක් සහ ස්කූටර් රථයක් ලබාදීමටයි සැලසුම් කර තිබුණේ.

මේ අතර, මනාලිය ලෑන්ඩ් කෲසර් රථයකින් විවාහ උත්සවයට පැමිණ ඇති අතර, මනාලයා පැමිණ ඇත්තේ මෝටර් රථ 151කින් සමන්විත රථ පෙළපාලියකින්.

මනාලයාට ඉන්දීය රුපියල් කෝටි 2.3ක් වටිනා මෝටර් රථයක් මෙන්ම රන් සහ රිදී තෑගි ද මනාලියගේ පවුලෙන් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, විවාහ මංගල්‍යය සඳහා වැය කළ සමස්ත මුදල අනන්ත් සිං විසින් මෙතෙක් අනාවරණ කර නොමැති බව සඳහන්.

බිහාර් ප්‍රාන්තයේ සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුම දරිද්‍රතාවයෙන් පෙළෙන පසුබිමක පැවති මෙම අති සුඛෝපභෝගී විවාහ උත්සවය සම්බන්ධයෙන් දැඩි සමාජ කතාබහක් ද නිර්මාණය වී තිබෙනවා.

විවාහ මංගල්‍යය සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස බිහාර් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජික නිරාජ් කුමාර් විමර්ශන ආයතනවලින් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම විවාහ මංගල්‍යය කෙරෙහි මෙතරම් අවධානයක් යොමුව ඇත්තේ මනාල යුවළට වඩා මනාලියගේ පියා වන ආන්දෝලනාත්මක දේශපාලනඥ අනන්ත් සිං හේතුවෙනුයි.

'චෝටේ සර්කාර්' (Chhote Sarkar) යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ අනන්ත් සිං, බොහෝ අවස්ථාවලදී 'බාහුබලී' (Bahubali) ලෙස ද හඳුන්වනු ලබනවා.

එය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල බලවත් ප්‍රාදේශීය නායකයින් හැඳින්වීම සඳහා භාවිත කරන වචනයක් බව සඳහන්.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු මෝටර් රථ 20ත් 25ත් අතර සංඛ්‍යාවකින් සමන්විත රථ පෙළක් සමග ගමන් කරන බවයි.

එමෙන්ම එක් අවස්ථාවක ඔහු හමුවීමට පැමිණි බදු නිලධාරීන් හමුවට ජීවමාන සර්පයින් ගෙල වටා දවටාගෙන පැමිණ ඔවුන් පලවා හැර ඇති බව ද ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සඳහන් කර තිබෙනවා.

2005 වසරේදී පළමු වරට මොකාමා මැතිවරණ කොට්ඨාසය ජයගත් අනන්ත් සිං, 2010, 2015, 2020 සහ 2025 යන වසරවල පැවති මැතිවරණවලදී ද එම ආසනය ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය වසරේ පැවති මැතිවරණයට පෙර මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයට අනුව, තමන් ව්‍යාපාර සහ කෘෂිකාර්මික ඉඩම් හිමි සමාජ සේවකයෙකු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

තමන් සහ සිය බිරිඳ සතු සමස්ත වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 100ක් බවත්, තමන්ට එරෙහිව අපරාධ නඩු 24කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම, කප්පම් ගැනීම සහ කලහකාරී ක්‍රියාවල නිරතවීම වැනි බරපතළ අපරාධ චෝදනා ද ඒ අතර වනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරගතව සිට ඇති අතර, පසුගිය දශක දෙක තුළ ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වූ එකම අවස්ථාව වන්නේ 2022 වසරේදී වසර 10ක සිරදඬුවමක් නියම වූ අවස්ථාවයි.

ඒ, 2019 වසරේදී ඔහුගේ නිවසේ තිබී AK-47 වර්ගයේ ගිනි අවියක් ඇතුළු අවි ආයුධ සහ පතොරම් තොගයක් සොයාගැනීම සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළවයි.

එම දඬුවම හේතුවෙන් බිහාර් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ අතර, ඇප මත සිටි ඔහු අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කළා.

අනතුරුව පසුගිය වසරේ පැවති මැතිවරණයට යළි තරග කළ ඔහු ජයග්‍රහණය කරමින් නැවතත් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වුණා.

මේ අතර, පසුගිය වසරේ මැතිවරණ සමයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් ද ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති අතර, දෙසැම්බර් මස 01 වැනිදා වනවිට අධිකරණයට භාර වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නියෝග කර තිබෙනවා.

එම නඩුව සම්බන්ධයෙන් මාස තුනක් බන්ධනාගාරගතව සිටි අනන්ත් සිං, තමන් අධිකරණ නියෝගයට අවනත වන බව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top