බැතිමතුන්ගේ සිත් පහන් කරවන අසිරිමත් දසුනක්.. ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන අද යළි නිරාවරණය කෙරේ.
Friday, 20 November 2026 - 16:32 | Views - 22

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන අද (20) යළි නිරාවරණය කර තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ වැඩ හිඳින ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මැදුරට ඉහළින් ඉදිකර ඇති මෙම රන් වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 වසරේදී ආරම්භ කර තිබුණා.
කාලයත් සමඟ රන්පත් අවර්ණ වීම සහ ක්ෂය වීම හේතුවෙන් රන් වියනේ පැවති අලංකාරය අඩුවීම මෙම ප්‍රතිසංස්කරණයට හේතු වී තිබෙනවා.
වර්ග අඩි 2,900කින් සමන්විත රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය භාවිත කරමින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ඉංජිනේරු සමාගම්වල තාක්ෂණික උපදෙස් සහ දේශීය සමාගම් රැසක දායකත්වය ලබාගෙන තිබෙනවා.
මීට අමතරව රන් වියනේ ලෝහමය සැකිල්ල, රන් නෙළුම්මල් සහ අනෙකුත් අලංකරණ අංග ද ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.
රන් වියනට ඉහළින් පිහිටි කොත් කැරලි ද්විත්වය සිංගප්පූරුවේ රෝයල් ඉන්සිග්නියා සමාගම විසින් දඹරනින් නිර්මාණය කර ඇති අතර, ජපානයේ ඉවාසාකි සමාගමේ නවීන ආලෝකකරණ පද්ධතියක් ද ස්ථාපිත කර තිබෙනවා.
මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ අනුශාසනා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මඟපෙන්වීම යටතේ, විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙනවා.
අද පැවති නිරාවරණ උත්සවයට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, තායිලන්තයේ ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තායි දූත පිරිස සහ දියවඩන නිලමේවරයා ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.
1987 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මෙම රන් වියන මීට පෙර 2002 සහ 2018 වසරවලදී ද ප්‍රතිසංස්කරණය කර තිබුණා.
ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වන රන් වියන, දෙස් විදෙස් බැතිමතුන්ගේ විශේෂ අවධානයට ලක්වන ඓතිහාසික හා ආගමික වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස සැලකෙනවා.
Share This Article