ඥානසාර හිමිට නිදහස ඉල්ලන 'නිදහසේ පාද යාත්‍රාව' 3 වන දිනයටත් කෑගල්ලෙන් ඇරඹෙයි..
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ "නිදහසේ පාද යාත්‍රාව" අද (12) තෙවන දිනට කෑගල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
දෙවන දිනට කඩුගන්නාව නගරයෙන් ඊයේ ආරම්භ කළ පාගමන කෑගල්ල දක්වා පැමිණි අතර, අද එතැන් සිට වරකාපොළ දක්වා ගමන් කරනු ඇති.
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ උන්වහන්සේට ගිහි ඇඳුම ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය පා ගමනක් ආරම්භ කළේ පෙරේදා දිනයේයි.
එමෙන්ම, ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ, පානදුර, හොරණ, පිටිගල, කැකිරාව, කළුතර සහ ගාල්ල ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් ක්‍රියාත්මක කෙරුණා.
මේ අතර, ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් නිහඬ පා ගමන උන්වහන්සේගේ උපන්ගම වන කරන්දෙණිය ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ අතර, ඥානසාර හිමිගේ මව ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.
එමෙන්ම, සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා "ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු" තේමාවෙන් අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ වැඩසටහන ද තවදුරටත් ක්‍රියාත්මකයි.