යටිපතුලට ලූනු තැබීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සුව කළ හැකි ද? විශේෂඥයින් අනාවරණය කළ විද්‍යාත්මක සත්‍යය මෙන්න..
සමාජ මාධ්‍ය හරහා මේ දවස්වල පුදුමාකාර විදිහට පැතිර යන අපූරු කතාවක් තමයි සෙම්ප්‍රතිශ්‍යාවට රතු ලූනු පෙති ටිකක් මේස් එකක් ඇතුළට දාලා රෑ එළිවෙනකන් දාගෙන ඉන්න එක.
සමාජ මාධ්‍ය හරහා මේ දවස්වල පුදුමාකාර විදිහට පැතිර යන අපූරු කතාවක් තමයි සෙම්ප්‍රතිශ්‍යාවට රතු ලූනු පෙති ටිකක් මේස් එකක් ඇතුළට දාලා රෑ එළිවෙනකන් දාගෙන ඉන්න එක. "අධික උණ පාලනය කරනවා", "විෂබීජ සහ බැක්ටීරියා විනාශ කරනවා", "විෂ ද්‍රව්‍ය උරා ගන්නවා" වගේම "රුධිරය පිරිසිදු කරනවා" කියලත් මේ ගැන හරි අපූරුවට කියැවෙනවා. හැබැයි මේ කතාවල ඇත්තටම විද්‍යාත්මක පදනමක් තියෙනවද?
විශේෂඥයින් මේ ගැන කියන්නේ කුමක්ද කියලා හරියටම දැනගනිමු..
එක්සත් ජනපදයේ 'ජාතික ලූනු සංගමය' පවසන පරිදි, කාමරයක් තුළ ලූනු තැබීමෙන් බියුබොනික් වසංගතයෙන් ආරක්ෂා විය හැකි යැයි විශ්වාස කළ 1500 ගණන්වල සිටම මේ මත පැවත එනවා. අතීතයේ මිනිසුන් ඉදිමුණු වසා ගැටිති මත පවා ලූනු ඇතිල්ලීම සිදු කර තිබෙනවා.
ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥවරියක සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය කේටි සුලේටා පවසන පරිදි, සම යනු ශරීරයට විෂබීජ ඇතුළු වීමට එරෙහිව ක්‍රියාත්මක වන පළමු ආරක්ෂක වැටයි. සමේ සිදුරු හරහා හෝ පාදවල යටි පතුල් හරහා විෂ ද්‍රව්‍ය පිටතට ඉවත් කිරීමට ලූනුවල කිසිදු විශේෂ මායාමය ගුණයක් නැහැ.
රාත්‍රිය පුරා මේස් තුළ තබා ඇති ලූනුවල වර්ණය වෙනස් වන්නේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් වීම නිසා නොව, එය හුදෙක් ඔක්සිකරණය සහ සම මත ඇති ක්ෂුද්‍ර ජීවීන් සමඟ සිදුවන ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් පමණයි.
අක්මාව මඟින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය පෙරීම සිදු කරන අතර, වකුගඩු මඟින් මුත්‍රා හරහා අතිරික්ත ජලය සහ අපද්‍රව්‍ය ඉවත් කරනු ලබනවා. නිරෝගීව තබා ගැනීමට සමබර ආහාර වේලක්, නිසි බරක් සහ ප්‍රමාණවත් ජලය ප්‍රමාණවත්.
සෙම්ප්‍රතිශ්‍යාවට කරන්න ඕන සැබෑ දේවල් මොනවාද?
සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නේ වෛරස් මඟින් වන අතර එය සාමාන්‍යයෙන් දළ වශයෙන් සතියක් වැනි කාලයකදී ඉබේම සුව වෙනවා. හොඳින් විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම මඟින් ඉක්මන් සුවයක් ලබාගන්න පුළුවන්.. ලූනු සුප් වැනි දියර වර්ග උගුරේ කැසීම් සමනයට සහ පෝෂණයට උදව් වුණත්, එයින් රෝගී කාලසීමාව කෙටි වන්නේ නැහැ.
විශේෂඥයින් අවධාරණය කරන පරිදි, අන්තර්ජාලය හරහා පල වන මෙවැනි ප්‍රකාශ නිසා අවසානයේදී සිදුවන්නේ මිනිසුන්ට නිසි ප්‍රතිකාර ලැබීම ප්‍රමාද වීමයි. යම් නිෂ්පාදනයක් මඟින් විෂ ඉවත් කළ හැකි යැයි පවසන විට, "මොන වගේ විෂ ද්‍රව්‍යද?" සහ "එය ක්‍රියා කරන්නේ කොහොමද?" කියලා මඳක් ගැඹුරින් සිතා බැලීම වැදගත්..