K-POP ඉතිහාසය වෙනස් කළ BABYMONSTER.. YouTube නැරඹුම් වාර බිලියන 10 සන්ධිස්ථානය පසුකරයි..
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය නිල යූ ටියුබ් නාලිකාව හරහා සමස්ත නැරඹුම් වාර (views) බිලියන 10ක සුවිශේෂී කඩඉමක් පසුකිරීමට සමත්ව තිබෙනවා.
YG Entertainment ආයතනය නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, 2022 දෙසැම්බර් මස ආරම්භ කරන ලද මෙම යූ ටියුබ් නාලිකාව මෙම සුවිශේෂී වාර්තාවට ළඟා වී ඇත්තේ වසර තුනකුත් මාස අටක් වැනි අතිශය කෙටි කාලයක් තුළදී වීම විශේෂත්වයක්.
මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් විසින් තනි යූ ටියුබ් නාලිකාවකදී ඉතාම කෙටි කාලයකදී බිලියන 10ක නරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කළ පළමු සහ වේගවත්ම කණ්ඩායම ලෙස බේබිමොන්ස්ටර් ඉතිහාසයට එක්වෙනවා.
එසේම, ලෝක ප්‍රකට BLACKPINK කණ්ඩායමට පසුව මෙම සන්ධිස්ථානය පසු කළ දෙවන K-Pop කාන්තා කණ්ඩායම මෙයයි.
නැරඹුම් වාර මිලියන 410 ඉක්මවූ 'SHEESH', මිලියන 400 ඉක්මවූ 'DRIP' සහ මිලියන 340 ඉක්මවූ 'BATTER UP' ඇතුළුව නැරඹුම් වාර මිලියන 100ට වඩා වැඩි වීඩියෝ 17ක් ඔවුන්ගේ නිල නාලිකාව තුළ සටහන්ව තිබෙනවා.
නැරඹුම් වාරවලට අමතරව ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහක (Subscribers) සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, මේ වන විට ඔවුන් මිලියන 13ක ග්‍රාහකයන් පිරිසක් සමඟින් K-Pop කාන්තා කණ්ඩායම් අතර තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
මෙම සුවිශේෂී ජයග්‍රහණයන් සමරන අවස්ථාවක, බේබිමොන්ස්ටර් කණ්ඩායම මේ දිනවල සිය මහා පරිමාණ '2026-27 BABYMONSTER WORLD TOUR [CHOOM]' ලෝක සංචාරයේ නිරත වෙමින් ලොව පුරා සිටින රසිකයන් පිනවීමට කටයුතු කරමින් සිටිනවා.