වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ විප්ලවීය පෙරළියක්.. ඌරු වකුගඩුවක් සමඟ දින 271ක් ජීවත් වූ රෝගියා..
අමෙරිකාවේ වෛද්‍යවරුන් විසින් ඌරෙකුගෙන් ලබාගෙන මිනිස් සිරුරකට බද්ධ කරන ලද වකුගඩුවක් දින 271ක (මාස 9ක) අඛණ්ඩ කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වූ බවට අතිවිශේෂ පුවතක් වෛද්‍ය ක්ෂේත්‍රයෙන් වාර්තා වනවා.
වෙනත් ජීවී විශේෂයකින් ලබාගත් අවයවයක් මිනිස් සිරුරක් තුළ මෙතරම් දීර්ඝ කාලයක් සක්‍රියව පැවති ලොව ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වුණා.
අමෙරිකාවේ මැස් ජෙනරල් බ්‍රිගම් (Mass General Brigham) රෝහලේ වෛද්‍ය කණ්ඩායම විසින් මෙම ඓතිහාසික බද්ධ කිරීම සිදුකර ඇත්තේ ටිම් ඇන්ඩෲස් (Tim Andrews) නැමැති රෝගියාටයි.
අවසානයේදී එම වකුගඩුව අක්‍රිය වීම නිසා ඉවත් කිරීමට සිදු වූ අතර, මානව දායකයෙකුගෙන් අලුත් වකුගඩුවක් ලැබෙන තෙක් ඔහුට කෙටි කාලයකට නැවත ඩයලිසිස් සේවාව ලබා ගැනීමට සිදුව තිබෙනවා.
ඩයලිසිස් යන්ත්‍රයකට වී සතිපතා රෝහල් ගත වීමට තිබූ පීඩනයෙන් මිදී මාස ගණනාවක් නිදහසේ ජීවත් වීමට මෙම සත්ත්ව වකුගඩු බද්ධය තමාට මහත් බලාපොරොත්තුවක් ලබා දුන් බව මෙම අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් ටිම් ඇන්ඩෲස් සඳහන් කළා.
ලොව පුරා පවතින දැඩි මානව අවයව හිඟයට විසඳුමක් ලෙස වෙනත් විශේෂයන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ (Xenotransplantation) පර්යේෂණ මේ වන විට වේගවත් කර තිබෙනවා.
අමෙරිකාවේ පමණක් වකුගඩු බද්ධ කිරීම් සඳහා 100,000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින අතර, වසරකට සිදුවන්නේ බද්ධ කිරීම් 25,000ක් වැනි සංඛ්‍යාවක්.
පොරොත්තු ලේඛනයේ ඉහළටම පැමිණීමට වසර 7ක් පමණ ගත වන නමුත්, ඩයලිසිස් මත ජීවත් විය හැක්කේ සාමාන්‍යයෙන් වසර 5ක් වැනි කාලයක් බැවින් මෙවැනි නව වෛද්‍ය සොයාගැනීම් ඉදිරියේදී දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට මඟපාදනු ඇතැයි වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.