සුවහසක් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක.. ෆිල්ගැස්ටින් එන්නත නැතිව කිමෝ තෙරපි නතර වෙයි..
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල්වල මේ වන විට 'ෆිල්ගැස්ටින්' (Filgrastim) නැමැති අත්‍යවශ්‍ය එන්නත නොමැති වීම හේතුවෙන් කිමෝ තෙරපි (Chemotherapy) ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරටට ගෙන්වා තිබූ ෆිල්ගැස්ට්‍රින් එන්නත් 1,60,000ක් අඩංගු බහාලුමේ පිටත ලේබල් අලවා තිබුණ ද, එහි ඇති සිරින්ජර්වල අදාළ ලේබලය නොතිබීමයි. ඒ හේතුවෙන් ඇති වූ තාක්ෂණික ගැටලුව මත එම එන්නත් තොගය රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබෙනවා.
රෝහල් පද්ධතිය තුළ හටගත් මෙම හිඟයත් සමඟ පෞද්ගලික ඖෂධසැල් අංශය සතුව තිබූ අදාළ එන්නත් තොග ද මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව වාර්තා වුණා.
මෙම බරපතල පිළිකා එන්නත් හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
එන්නත් සැපයීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම නැවත අලුතින් අදාළ එන්නත් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා සති තුනක කාලයක් ගතවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මේ අතර හටගෙන ඇති මෙම හදිසි ඖෂධ හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (28) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස එළඹෙන සතිය ඇතුළත ගුවන් මගින් අදාළ එන්නත් මාත්‍රා 15,000ක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.