සමාජ මාධ්‍ය කැළඹූ අමුතුම චීන චිත්‍රපටය Niu Lai.. නරක වැඩි නිසාම සාර්ථක වූ අදහාගත නොහැකි සිනමා කතාව..
Thursday, 20 August 2026 - 16:19 | Views - 27

වීරයෙක් වීමට සිහින මවන ගව පැටියෙකුගේ පැමිණීමේ කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වූ 'Niu Lai' නැමැති චීන ඇනිමේෂන් චිත්‍රපටය මේ වන විට මුළු සිනමා ලෝකයම උඩුයටිකුරු කරමින් දැවැන්ත ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.
ආරම්භක දිනයේදී සිනමාශාලා 250ක පමණ තිරගත කළ ද ප්‍රේක්ෂකයින් 12 දෙනෙකු පමණක් පැමිණීම නිසා සිනමාශාලා රැසකින් මෙය ඉවත් කිරීමට පවා සිදුවූ අතර, මුල් දින 10 තුළ අලෙවි වූයේ ටිකට් 300ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක්.
කෙසේ වෙතත්, කලා ලෝකයේ ප්‍රකට "So Bad it's good" එහි ඇති අඩුපාඩු නිසාම එය විනෝදජනක වීම යන සංකල්පය පදනම් කරගනිමින්, චිත්‍රපටය නැරඹූ මුල් ප්‍රේක්ෂකයින් මෙහි වීඩියෝ හිස් කොටස් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට පටන් ගත්තා.
සින් යුමෙන්ග් (Xin Yumeng) නැමැති තරුණයාගේ ඇනිමේෂන් චිත්‍රපටයක් කිරීමේ සිහිනය සැබෑ කරනු පිණිස, ඔහුගේ 60 හැවිරිදි ආදරණීය මව වන සන් ලීෆැන්ග් (Sun Lifang) තමන් සතු එකම ව්‍යාපාරය ද වසා දමා සම්පූර්ණ මුදල් කැප කරමින් මෙම දැවැන්ත අවදානම භාරගෙන තිබෙනවා.
3D තාක්ෂණය, තිරපිටපත් ලිවීම, සංගීතය, හඬකැවීම් මෙන්ම වීඩියෝ එඩිටිං දක්වා සෑම දෙයක්ම ස්වයංව ඉගෙන ගනිමින්, පරණ පරිගණක කොටස් එකතු කරගෙන වසර 5ක් පුරා මෙම අම්මා සහ පුතා කළ අසිරියෙන් පිරි අරගලය සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලිවෙන්නක්.
චීන පංචාංගයට අනුව 'ගොනාගේ වසරේ' උපත ලැබූ තමන්ගේ ආදරණීය පියාණන්ට ගෞරවයක් ලෙස ප්‍රධාන චරිතයට 'වස්සෙකු' යොදාගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය, මුල් දින 10 තුළ ප්‍රේක්ෂකයින් නොමැතිව අසාර්ථක වන ලකුණු පහළ කළ ද, මෙම අමුතුම මාදිලියේ නිර්මාණය පිළිබඳව ප්‍රේක්ෂකයින් තුළ ඇතිවූ දැඩි කුතුහලය සහ සමාජ මාධ්‍ය රැල්ල හේතුවෙන් සිනමාහල් වෙත පිරිස් රොක්වීමට පටන් ගත් අතර, කිසිදු නිල ප්‍රචාරණ පිරිවැයකින් තොරවම චිත්‍රපටය ඩොලර් මිලියන 3.5ක අතිදැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
AI තාක්ෂණය පිරිණු ලෝකයක මිනිස් ශ්‍රමයේ සහ ආදරයේ සැබෑ සුවඳ මුසු වූ මෙම අපූරු නිර්මාණයෙන් පසුව, ඔවුන් දෙදෙනා මේ වන විට 'යැන්ග් ගාඕ' (Yang Gao) නැමැති සිය ඊළඟ චිත්‍රපටයේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා.




Share This Article