වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන්..
ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට අහම්බෙන් දකින්න ලැබුණු දෙයකින් මුළු ලෝකයම හොල්මන් වෙලා ගිහින්. ඒ තමයි අවුරුදු මිලියන 210කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන්.
විද්‍යාඥයෝ කියන විදිහට මේවා "ප්‍රො-සෝර-පොඩ්ස්" (Prosauropods) කියන ඩයිනසෝර් වර්ගයට අයිති ඒවලු. පොඩ්ඩක් හිතලා බලන්න, මීටර් 10ක් විතර දිග සිරුරක් තිබුණු, පුංචි හිසකුයි දිග බෙල්ලකුයි තියෙන මාරම පෙනුමක් තියෙන ශාකභක්ෂක සත්තු කොට්ඨාසයක් මේ.
මේ පා සටහන් කොච්චර පැහැදිලිද කියනවා නම්, ඒවයේ ඇඟිලි සලකුණු විතරක් නෙවෙයි, තියුණු නියපොතු පවා ලස්සනට පේන්න තියෙනවාලු. සමහර පා සටහන් සෙන්ටිමීටර 40ක් විතර විශාලයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මේක මුලින්ම දැකලා තියෙන්නේ එතනින් ගිය ඡායාරූප ශිල්පියෙක්. විද්‍යාඥයෝ දැන් කියනවා මේ සත්තු පසුපස පාද දෙකෙන් තමයි ඇවිදලා තියෙන්නේ කියලා. හැබැයි තවත් පුදුම හිතෙන කතාවක් තියෙනවා. මේ සත්තු දිග ගමන් ගිහින් හති වැටුණම, විවේක ගන්න කියලා ඉස්සරහා කකුල් දෙක කඳු බිත්තියට තියලා හේත්තු වෙලා ඉන්නවලු. ඒ හේත්තු වුණු සලකුණු තමයි දැන් අපිට දකින්න ලැබෙන්නේ.
ඩයිනසෝර්ලා වඳ වෙලා යන්න කලින් වසර මිලියන 160ක් මේ ලෝකේ රජ කරලා තියෙනවා. ඉතින් ඒ රජ දහනේ ඉතිරි වුණු තවත් එක මතකයක් තමයි මේ විදිහට අද අපිට බලාගන්න ලැබුණේ.