ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් , දැල්වුණු රතු එළි ගැන වැඩිදුර තොරතුරු.. (Video)
Wednesday, 27 November 2024 - 8:59 | Views - 283

අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 08 දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.
පොලිසිය සදහන් කළේ, සිසුන් 05 දෙනෙකු බේරාගත් බවයි.
අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.
අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර - මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
මේ අතර, අද උදෑසන 5.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 200.5ක් වාර්තා වී තිබෙනවා.
ඒ මුලතිව් - වව්නිකුලම් ප්‍රදේශයෙන්.
ඊට අමතරව තුනුක්කායි ප්‍රදේශයෙන් මිලිමීටර 199 සහ වව්නියා ප්‍රදේශයේ මිලිමීටර 192.8ක් වර්ෂාපතනය ඇඳහැලී තිබෙනවා.
එමෙන්ම අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය හමුවේ කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
අවිස්සාවෙල්ල සිටි කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් කාර්මික දෝෂයකට ලකවීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
උතුර පළාතේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 17,363කට අයත් පුද්ගලයින් 66,655ක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
හැඩ ඔය පිටාර ගැලීම නිසා සියඹලාණ්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසට අයත් මහ කළුගොල්ල ප්‍රදේශයේ වගා ඉඩමක කොටුවී සිටි ගොවීන් 5 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
නාවික හමුදාව, පොලිස් නිලධාරීන්, මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවයි මොවුන් බේරාගෙන ඇත්තේ.
මේ අතර, හදිසි ආපදා තත්වයන් පිළිබඳ වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ සිට පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.
ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබා ගැනීම් ඇතුලු තොරතුරු සම්බන්ධයෙන් 011 2 027 148 සහ 011 2 472 757 යන දුරකතන අංක අමතා පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article