දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද(25) ට යෙදී තිබෙනවා.2024 වසරේ පළමු, පුර පසළොස්වක පොහොය වන දුරුතු පොහොය ලක්වාසී සියලු දෙනාට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම හේතුකොට ගෙනයි.එසේම, අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර, එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්.තවද , බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනක යි.කෙසේ වෙතත්, අලුත් අවුරුද්දේ පළමු පොහෝ දිනය නිමිති කරගෙන බොහෝ බෞද්ධ සැදැහැවතුන් සුදු වතින් සැරසී සිල් සමාදන් වීමට ද අමතක නොකරනු ඇති.
දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද (25) උදෑසන ආරම්භ වුණා.
“සිහි නුවණ” තේමා කරගත් විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය එලමල්දෙණියේ සාරානන්ද හිමියන්ගේ සහ පූජ්‍ය නාපටවන ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
අනතුරුව පෙරවරු 11ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.
පස්වරු 3.30 ට කාලීන ධර්ම සාකච්ඡාව රාජකීය පණ්ඩිත පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන්ව හන්සේගේ සහ පේරාදේණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.