දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලබා දී තිබෙනවා.
ඒ ඔහු අද කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ මිය ගිය කාන්තාව සහ තමන් අතර ඊයේ පස්වරුවේ බහින්බස් වීමක් සිදු වූ අතර එහිදී ඇති වූ ක්ෂණික කෝපය හේතුවෙන් ඇයට තියුණු ආයුධයකින් පහර දුන් බවයි.
49 හැවිරිදි මෙම සැකකරු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ඒ.කේ. 048 දරණ යානයෙන් සිංගප්පූරු බලා පිටත්ව යාමට පැමිණ සිටියදීයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ගුවන්තොටුපොළේ ස්ථාපිත කළ මුහුණු හඳුනාගැනීමේ ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා.
සැකකරු විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ධර්මසිරි නමැත්තාගේ සහෝදරයෙකු වන බවටද අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට ලක් වූ පිලියන්දල - මඩපාත ප්‍රදේශයේ පදිංචි දුලාංජලී අනුරුද්ධිකා නමැති 41 හැවිරිදි එක්දරු මව සිවිල් ගුවන් සේවා නිලධාරිනියක ලෙස සේවය කරනු ලැබුවා.
ඇය සේවය නිම කර කාර්යාලයීය ප්‍රවාහන සේවාවට අයත් බස් රථයකින් පැමිණ ඉන් බැස තිබුණේ කහතුඩුව අධිවේගී පිවිසුම අසලින්.
පසුව මාර්ගයේ අනෙක් පස නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවීමට යාමේදී මෝටර් රථයකින් පැමිණ මාර්ගයේ රැක සිටි සැකකරු එක්වරම ඇයගේ උදරයට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
පසුව සැකකරු එම කාන්තාවගේ ගෙලට හා සිරුරේ තවත් ස්ථාන කිහිපයකට තියුණු ආයුධයෙන් පහරදී පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබුණේ හෝමාගම ප්රදේශයටයි.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකරු විවාහකයින් වන අතර, ඔවුන් විවාහ වීමට පෙර ප්‍රේම සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා.
දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන සැකකරු විදේශ ගත වී සිට යළි මෙරටට පැමිණ ඇති අතර, දෙදෙනා අතර යලි සබඳතාවක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ කාර්යාලයක වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.