අපිට ටින් එක ඇරෙද්දී , දියවන්නාවේ ඈයොන්ට විවෘත වූ වරායේ අමුතු විනෝද සංචාරය
Wednesday, 10 January 2024 - 7:33 | Views - 564

වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09 වැනිදා) විනෝද සංචාරයක නිරතව ඇති බවට පුවත්පත් වාර්තා කරනවා.වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බවත් වාර්තා වනවා.මන්ත්‍රිවරුන් මෙම විනෝද චාරිකාව සඳහා රැගෙන ගිය නෞකා දෙකම වරායට එක්රොක් වන වැලි ඉවත් කිරීම සදහා භාවිත කරන සුපතළ නෞකා දෙකක් බවද වරාය ආරංචිමාර්ග සඳහන් කළා.මන්ත්‍රිවරුන් පනස් දෙනකු සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වැය වී ඇති බවයි එම පුවත්පත් වාර්තා කරන්නේ.වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ගේ පෞද්ගලික ලේකම් සෙනාලි ජයසේකර විසින් මන්ත්‍රිවරුන් සඳහා සූදානම් කළ මෙම විනෝද සංචාරයට අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් සපයන ලෙසට වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් පෙරේදා (08වැනිදා) ලිඛිත ඉල්ලීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.එම ලිපියට අනුව චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැඳි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමැති ආරක්ෂක අංශය සඳහා) ලබාදෙන්නැයි ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.එම ලිපියෙන් මන්ත්‍රිවරුන්ට සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවයි එම තොරතුරු වාර්තා කරන්නේ.මෙම චාරිකාව සඳහා යොදාගත් වරාය අධිකාරිය සතු නෞකා දෙක පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර තිබෙනවා.නව වසරේ ආරම්භ වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනුවෙන් සූදානම් කළ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරය සඳහා සහභාගී වන මන්ත්‍රිවරුන්ට ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා විසින් ඇරයුම් පත්‍රද වෙන වෙනම ලබාදී තිබෙන අතර ඔවුන් සියලු දෙනාට (09 වැනිදා) පස්වරු 06 වන විට වරාය පරිශ්‍රයට පැමිණෙන්නැයි එමඟින් දැනුම් දී තිබුණා.අප මේ සම්බන්ධයෙන් විමසීමට වරාය රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරගේ දුරකතනයට ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තද එම උත්සහාය ව්‍යර්ත වුණා.

Share This Article