අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර කොළඹ සෙසු කඩසාප්පු වසා දමන්න - පුරපතිනිය ඉල්ලයි
Thursday, 19 August 2021 - 14:40 | Views - 904

කොරෝනා ව්‍යාප්තිය හමුවේ කොළඹ නගරයේ අත්‍යාවශ්‍ය ම සේවාවන් හැර අනෙකුත් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නවත්වන ලෙසට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය ජනතාවගෙන් යළිත් ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹට පැමිණීමෙන් වළකින ලෙසටයි.
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නගර කිහිපයක ම වෙළඳසැල්, ව්‍යාපාරිකයන් එක් වී වසා දැමීමට තීරණය කිරීම අගය කළ යුත්තක් බව ද ඇය කියා සිටියා.
කොළඹින් වාර්තාවන ආසාදිතයන් සියයට 90ක් ම ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් බවට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය තහවුරු කර ඇති බව ද කොළඹ පුරපතිනිය සඳහන් කළා.
මේ අතර කොරෝනා වසංගතය හමුවේ අනුරාධපුර නගරය සහ සියලු උපනගරවල ව්‍යාපාරික ස්ථාන අද සිට වසා දැමීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළකර තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ පැවති තම සංසද රැස්වීමේ දී ව්‍යාපාරිකයන් මේ සඳහා එකඟතාව පළ කර ඇති බවයි.
එමෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් අනුරාධපුර නගරයට පැමිණෙන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම කොටගල නගරයේ සියලු ම වෙළඳසැල් අද සිට මේ මස 26 වනදා දක්වා වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව හා කොටගල වෙළඳ සංගමය එක් ව පියවර ගෙන තිබෙනවා. කොටගල නගරය හා අවට ප්‍රදේශවල කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා වීමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.
බදුල්ල නගරයේ වෙළඳසැල් අද දෙවන දිනටත් වසා තැබීම නිසා නගරයේ මංමාවත් රැසක් අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ කඩිනමින් එන්නත්කරණය සිදුකර රට වසා දැමිය යුතු බවටයි.
මේ අතර කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා මාස හයක කාලයක් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළා.
Share This Article